නජීබ් රසාක් පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙයි

මලයාසියානු හිටපු අගමැති මැලේ ජාතික සන්ධානයේ නායකත්වයෙන් සහ බරසාන් ජාතික සන්ධානයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

by Staff writer 12-05-2018 | 7:00 PM
(News 1st) - පැවති මැතිවරණයෙන් පරාජයට පත් වූ මලයාසියානු හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මැලේ ජාතික සන්ධානයේ නායකත්වයෙන් සහ බරසාන් ජාතික සන්ධානයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. එරට මාධ්‍ය වාර්තා කළේ, එක්සත් මැලේ ජාතික සන්ධානයේ නව නායකයා ලෙස හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය අහමඩ් සහිඩ් හමිඩ් පත් කර ඇති බව ය. හිටපු අග්‍රාමාත්‍යවරයාට එරෙහිව එල්ල වී ඇති දූෂණ චෝදනා ‍හේතුවෙන් ඔහුට එරෙහිව මලයාසියානු ආගමන විගමන බලධාරීන් විසින් අද පෙරවරුවේ සංචාරක තහනමක් පැනවීමට ක්‍රියා කරනු ලැබී ය. ඒ, ඔහු අද පෙරවරුවේ සිය බිරිඳ සමග ඉන්දුනීසියාවේ සංචාරයක් සඳහා පිටව යෑමට නියමිතව තිබියදී ය.