දේශපාලන අරමුණු උදෙසා රණවිරුවන් භාවිත නොකළ යුතුයි

දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීමට රණවිරුවන් භාවිත නොකළ යුතුයි - ජනපති

by Chathuranga Rajapaksha 12-05-2018 | 7:00 AM
COLOMBO (News 1st) - කිසියම් දේශපාලන පක්ෂයක් තම දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා රණවිරුවන් භාවිත කරන්නේ නම් එය කිසිසේත් සදාචාරාත්මක නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, 'වයඹ රණ අභිමන්' රණවිරු ස්මාරකය ඊයේ පස්වරුවේ කුරුණෑගලදී විවෘත කරමින් ය. රණවිරුවන්ට ජාතියේ උපහාර පුද කරමින් ඔවුන්ගේ වරප්‍රසාද දිනා දීමට කටයුතු කරනු මිස කිසිඳු අවස්ථාවක රණවිරුවන් අවතක්සේරුවට ලක් කිරීමට වත්මන් රජය කටයුතු නොකළ බව ජනාධිපතිතුමා එහිදී සඳහන් කළේය. කුරුණෑගල - දඹුල්ල මාර්ගය සංවර්ධනය කිරීමේදී තාවකාලිකව ඉවත් කෙරුණු රණවිරු ස්මාරකය වෙනුවට මෙම නව ස්මාරකය පෙර එය පැවති කුරුණෑගල මාලිගා පිටිය ක්‍රීඩාංගනය අසලම ඉදි කර තිබේ.