මෙරටට ගෙනා පෙට් ස්කෑනර් භාවිතයට නොගන්නේ ඇයි?

ජාතික රෝහලේ සහ අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍ර තවමත් භාවිතයට නොගන්නේ ඇයි?

by Staff writer 12-05-2018 | 8:53 PM
COLOMBO (News 1st) - මහරගම අපේක්ෂා රෝහලේ හා ජාතික රෝහලේ සවි කර ඇති පෙට් ස්කෑනර් යන්ත්‍ර භාවිතයට ගත නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ‍ජාතික රෝහලට මීට වසර එකහාමාරකට පමණ පෙර ආනයනය කළ පෙට් ස්කෑනර් යන්ත්‍රය ද අද වන විටත් භාවිතට ගෙන නැතැයි වෘත්තීය සමිති චෝදනා කරයි. ජාතික රෝහලේ පෙට් ස්කෑනර් යන්ත්‍රය පිළිබඳව පසුගිය ජනවාරි මස 17 වන දා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ මෙවැන්නකි. "ඒක යූස් කරන්න අයිසොටෝප්ස් ඕන. එතනයි ප්‍ර‍ශ්නේ තියෙන්නේ. කෑලි අඩුවක් නෙවෙයි. අයිසොටෝප්ස් ගේන්නේ ඉන්දියාවෙන්. ඉන්දියාවෙන් මෙහාට ගේනකොට සියයට 80 ක් අයිසොටෝප්ස් ඉවරයි. සියයට 20 යි පාවිච්චි කරන්නේ. සියයට 80 ක් අතරමගදී නැති වෙනවා. නියුක්ලියර් එක ස්ටෝර් කරන්නේ, ඇටමික් එනර්ජි ඔතොරිටි එකේ.ඒ නිසා මම දැන් විදේශ ආයෝජකයෝ එක්ක සාකච්ඡා කරලා තියෙනවා අයිසොටෝප්ස් ලංකාවේ හදන්න. නැත්තම් අපි කෝටි ගානක් වියදම් කරනවා රුපියල් ලක්ෂෙක විතර අයිසොටෝප්ස් පාවිච්චි කරනවා. නමුත් මේ ටිකට ඒ අයිසොටෝප්ස් ටික ගෙන්නන්න අපි ක්‍රියා කරනවා. ඒක ඊආර්ටි එකටයි එන්පීඩී එකටයි යවලා භාණ්ඩාගාරයේ ඒගොල්ලන්ගේ අනුමැතිය එනකල් බලාගෙන ඉන්නවා." අමාත්‍යවරයාගේ ප්‍රකාශයට මාස 4ක් ගත වුවත් අද වන විටත් ජාතික රෝහලේ පෙට් ස්කෑනර් යන්ත්‍රය ක්‍රියාත්මක නොමැත. මහරගම අපේක්ෂා රෝහලට කලක සිට අඩුවක්ව පැවති පෙට් ස්කෑනර් යන්ත්‍රයක් මීට මසකට පෙර ලබා දුන්නේ මෙරට පරිත්‍යාග ශීලීන්ගේ ආධාර උපකාර මත ය. නමුත් එම යන්ත්‍රය සඳහා අවශ්‍ය අයිසොටෝප්ස් නමැති වර්ණක මෙතෙක් රජය විසින් රෝහලට ලබා දීමට නොහැකි වීම හේතුවෙන් එය ප්‍රයෝජනයට ගත නොහැකි බව අප කළ විමසීමකදී රෝහල් බලධාරීහු සඳහන් කළහ. එය අද වන විට භාවිත වන්නේ, සීටී ස්කෑන් සිදු කිරීමට පමණි.