බලෙන් පාලමක් විවෘත කරන්න ගිය මන්ත්‍රීන් අත්අඩංගුවට

පොල්අතුමෝදර පාලම බලහත්කාරයෙන් විවෘත කරන්න ගිය වැලිගම ප්‍රා. සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට

by Chathuranga Rajapaksha 11-05-2018 | 5:30 PM
COLOMBO (News 1st) - ජපන් සහයෝගිතා අරමුදලේ ආධාර මත ඉදිකළ වැලිගම, පොල්අතුමෝදර පාලම බලහත්කාරයෙන් විවෘත කිරීමට තැත් කරමින් විරෝධතාවයේ නිරත වූ වැලිගම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, එම පාලම අද පෙරවරු 11 ට මැති ඇමතිවරුන් පිරිසක් සහ මෙරට ජපාන තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට සැලසුම් කර තිබූ බව ය. එහෙත් පෙරවරු 9.30 ට පමණ එම ස්ථානයට පැමිණි වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති, උප සභාපතිවරයා ඇතුළු මන්ත්‍රිවරුන් පිරිසක් කලහකාරි ලෙස හැසිරෙමින් පාලම විවෘත කිරීමේ නාම පුවරුවට හානි කරමින් පොලිස් රාජකාරියට බාධා කරමින් උද්ඝෝෂණයේ නිරත වූ බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේය. ඒ අනුව එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරින් එම පිරිස අත්අඩංගුවට ගැනීමට උත්සාහ කර ඇති අතර එහිදී සභාපතිවරයා සහ උප සභාපතිවරයා ඇතුළු පිරිසක් පලාගොස් තිබේ. කෙසේ වෙතත් එම අවස්ථාවේ උද්ඝෝෂණයට සහභාගී වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිණි.