ජාතික විගණන පනත විවාදයට ගැනීම තවදුරටත් කල් යයි

ජාතික විගණන පනත විවාදයට ගැනීම තවදුරටත් කල් යයි

by Staff writer 11-05-2018 | 7:31 AM
COLOMBO (News 1st) - ජාතික විගණන පනත පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීම තවදුරටත් කල් යාමේ තත්ත්වයක් මතුව තිබේ. පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළේ, එම පනත අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබුණ ද එම විවාදය කල් දමා ඇති බව ය. පෙරේදා රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී එම තීරණය ගෙන ඇති බව ද ලේකම්වරයා නිව්ස්ෆස්ට් වෙත ප්‍රකාශ කළේ ය. ඒ, ජාතික විගණන පනත කඩිනමින් විවාදයට ගන්නැයි කථානායක කරු ජයසූරිය මහතා ද ඉල්ලීමක් කර ඇති පසුබිමකදී බව ද ඔහු සඳහන් කළේ ය. ජාතික විගණන පනත විවාදයට ගැනීම ප්‍රමාද වන්නේ ඇයි...? මේ පිළිබඳව සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. අමාත්‍යවරයා පැවසුවේ, ජාතික විගණන පනතේ ඇතැම් වගන්ති සංශෝධනය විය යුතු බවට රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලීමක් ඇති බව ය. ඔවුන්ගේ ඉල්ලීම අනුව එම විවාදය කල් දැමූ බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ ය. පනතේ සඳහන් වගන්ති 5කට නව සංශෝධන සිදු වන බව ද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ ය. මේ සම්බන්ධයෙන් විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතාගෙන් ද අප කළ විමසීමකදී ඔහු පැවසුවේ, උද්ගතව ඇති තත්ත්වය තුළ තම කටයුතුවලට තවදුරටත් බාධා එල්ල වන බව ය.