උඩරට දුම්රිය සේවක වර්ජනය අවසන්

උඩරට දුම්රිය සේවක වර්ජනය අවසන්

by Staff writer 11-05-2018 | 12:58 PM
COLOMBO (News 1st) - උඩරට දුම්රිය ස්ථානවල සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කර තිබේ. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, දුම්රිය ගමනා ගමන කටයුතු යළි ආරම්භ කළ බව ය. කෙසේ වෙතත් බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වන සියලු දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බව ද පාලක මැදිරිය පැවසුවේ ය. දුම්රිය නියාමකවරයෙකු, ස්ථානාධිපතිවරයෙකුට බැන වැදීමේ සිදුවීමක් මුල් කර ගනිමින් උඩරට දුම්රිය මාර්ගයේ සියලු දුම්රිය ස්ථානවල සේවකයෝ අද අලුයම මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළහ. බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය සහ කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රිය අද අලුයම නාවලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ හදිසියේ නවතා දැමීම නිසා මගීන් පත් වූයේ දැඩි අපහසුතාවකට ය. දුම්රිය සේවක වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා මහනුවර දුම්රිය ස්ථානයේ දෛනික කටයුතු මුළුමනින් ම ඇණහිට තිබිණි. අප වාර්තාකරු සඳහන් කළේ, දුම්රිය මෙහෙයුම් ස්ථානාධිපති කාර්යාලය ද වසා දමා තිබූ බව ය. මේ අතර අද උදෑසන පොල්ගහවෙළ සිට මහනුවර දක්වා දුම්රිය ධාවනය ද සම්පූර්ණයෙන් ඇණහිට තිබිණි. අප වාර්තාකරු පැවසුවේ, පොල්ගහවෙළ දුම්රිය ස්ථානයේ සිටි මගීන් දැඩි අපහසුතාවකට පත් වූ බව ය. වර්ජනය හේතුවෙන් ගනේමුල්ල දුමිරිය ස්ථානයේ සිටි මගීහු ද දැඩි පීඩාවට පත් වූහ.