ආහාර පානවල මිල ගණන් අනිවාර්යෙන්ම ඉහළ දමනවා

ආහාර පානවල මිල ගණන් අනිවාර්යෙන්ම ඉහළ දමනවා - සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය

by Chathuranga Rajapaksha 11-05-2018 | 5:08 PM
COLOMBO (News 1st) - ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් ඉදිරියේදී අනිවාර්යෙන්ම ආහාර පානවල මිල ගණන් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. නිව්ස්ෆස්ට් ඩිජිටල් කළ විමසීමකදී එහි ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවසුවේ ක්ෂේත්‍රයේ හෝටල් හිමියන් මේ වනවිට දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ය. ඔවුන්ගේ ප්‍රවාහන සේවා වැඩිපුරම සිදු කරනු ලබන්නේ ත්‍රීරෝද රථ සහ ටැක්සි සේවාවන්ගෙන් බැවින් ඉන්ධන මිල ඉහළ යාමත් සමග ප්‍රවාහන ගාස්තු ද ඉහළ ගොස් ඇති බව ඔහු පවසයි. අල, ලූණු සහ පරිප්පුවල බදු මුදල් වැඩි කිරීමද ආහාර පානවල මිල ගණන් ඉහළ දැමීමට ගත් තිරණයට තවත් හේතුවක් බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කළේය. රජය විසින් ආහාර පානවලට මිල සූත්‍රයක් හඳුන්වා නොදීම හේතුවෙන් තව දුරටත් ක්ෂේත්‍රය තුළ තමන් අර්බුදයකට ලක්ව සිටින බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසයි. ආහාර පාලවල මිල ගණන් වැඩි කරනු ලබන ආකාරය පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන බව අසේල සම්පත් මහතා වැඩිදුරටත් කියා සිටියේය. මේ අතර ගෑස් මිල වැඩි කිරීම හේතුවෙන් කෑම පැකට්ටුවක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමටට ද සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පසුගියදා තීරණය කළේය.