අල්ලස් ගත් ආදායම් තක්සේරු නිලධාරියෙකු සිපිරිගෙට

අල්ලස් ගත් ආදායම් තක්සේරු නිලධාරියෙකුට වසර 14 ක සිර දඬුවමක්

by Chathuranga Rajapaksha 11-05-2018 | 7:19 PM
COLOMBO (News 1st) - දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ අනුරාධපුර පළාත් කාර්යාලයේ සේවය කළ ආදායම් තක්සේරු නිලධාරියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද වසර 14 ක සිර දඬුවම් නියම කළේය. ඒ, 2004 වසරේදී පුද්ගලයකුගෙන් රුපියල් 15,000 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කරමිනි. සිර දඬුවමට අමතරව රුපියල් 9,000 ක දඩයක් ද නියම කළ විනිසුරුවරයා, විත්තිකරු අල්ලස් ලෙස ලබාගත් රුපියල් 15,000 ක මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමට ත් නියම කළේය. 2004 වසරේ ජුනි මස‍ 01 වැනි දින බන්දුල මුණසිංහ මහතාගෙන් එකී අල්ලස ලබාගෙන තිබේ. ඒ, දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ කොළඹ කාර්යාලය, කොළඹ දිසා අධිකරණය හමුවේ පවරා තිබු නඩුවක චෝදනාවලින් මුදා හැරිමට ලිපියක් නිකුත් කිරීම සඳහායි. අද මෙම සිර දඬුවම නියම කරනු ලැබුවේ වසර 12 ක දිර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි.