by Staff writer 11-05-2018 | 7:14 AM
COLOMBO (News 1st) - ඉන්ධන මිල ඉහළ යාමට සමගාමීව බස් ගාස්තු, ත්‍රිරෝද රථ හා දුම්රිය ගාස්තු ඉහළ දැමීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන සංගම් පවසයි.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ, තම කර්මාන්තයට වන බලපෑම පිළිබඳ අවධානය යොමු කර ගාස්තු ඉහළ දැමීමට යෝජනා කරන බව ය.
වැඩි වන ගාස්තු ප්‍රතිශතයන් සම්බන්ධයෙන් අද පස්වරුවේ ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයෙන් නිව්ස්ෆස්ට් කළ විමසීමකදී එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා ප්‍රකාශ කළේ, 15%කින් පමණ ගාස්තු සංශෝධනය විය යුතු බව ය.
ඊට අදාළ යෝජනා රජයට ඉදිරිපත් කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
ඉන්ධන මිල ඉහළ යාමත් සමග ත්‍රිරෝද රථ ගාස්තු ද ඉහළ දැමීමට පියවර ගන්නා බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති කේ.ඩී. අල්විස් මහතා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ, ඒ අනුව පළමු ගාස්තු අවස්ථාව ඉහළ දැමීමේ සූදානමක් පවතින බව ය.
මේ අතර 15%කින් ඉහළ දැමීමට යෝජනා වී තිබූ දුම්රිය ගාස්තු ද එම ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ යා යුතු බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එහි ජ්‍යේෂඨ නිලධාරියෙකු සඳහන් කළේ, ගාස්තු ඉහළ දැමීමේ ප්‍රතිශතය සම්බන්ධයෙන් යළි අමාත්‍යංශයට යෝජනා ඉදිරිපත් කරන බව ය.
වෘත්තීය සමිති විසින් සිදු කිරීමට සූදානම් වන ගාස්තු ඉහළ දැමීමට රජයේ අවසර හිමි වෙයි ද?
මේ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් ජී.එස්. විතානගේ මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු පැවසුවේ, ලැබෙන ඉල්ලීම් අනුව නිසි ක්‍රියාවලියකට යටත්ව ඒ පිළිබඳව කටයුතු කරන බව ය.
බස් ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විද්වත් කමිටුව රැස් කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතා පැවසුවේ, ලබන සතිය ඇතුළත අවසන් තීරණයකට එළැඹෙන බව ය.
මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් මිල ගණන් ඉහළ දැමීමට පියවර ගැනිණි.
ඒ අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාව අලෙවි කරන ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ දමා තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 137 කි.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් ද රුපියල් 20 කින් වැඩි කර ඇති අතර එම වර්ගයේ ලීටරයක නව මිල රුපියල් 148 කි.
ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 14 කින් වැඩි කර තිබේ.
සුපිරි ඩීසල් ලීටරයක මිල වැඩි කර ඇත්තේ රුපියල් 09කිනි.
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 57 කින් වැඩි කර තිබේ.
ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 101 කි.
මෙම මිල ගණන් වෙනස් වීමට සමානව තම නිෂ්පාදනවල මිල ගණන් ද ඉහළ දමන බව ලංකා ඉන්දීය තෙල් සමාගම ප්‍රකාශ කළේ ය.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 137ක් වන අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 151කි.
ලංකා ඉන්දීය තෙල් සමාගමේ නව මිල ගණන් අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 111ක් වේ.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 119 ක් දක්වා ද ඉහළ දමා තිබේ.
මේ අතර ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේ, මාස දෙකෙන් දෙකට ඉන්ධන මිල වැඩි හෝ අඩු විය හැකි බව ය.