ජනපති කළ ප්‍රකාශය පිළිබඳ විවාදය අද

නව පාර්ලිමේන්තු සැසිවාරය අරඹමින් ජනපති කළ ප්‍රකාශය පිළිබඳ විවාදය අද

by Staff writer 10-05-2018 | 7:13 AM
COLOMBO (News 1st) - 8 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපතිතුමා කළ ප්‍රකාශය පිළිබඳ විවාදය අද පැවැත්වේ. ඒ, කල් තැබීමේ විවාදයක් ලෙස ය. මේ අතර පුරප්පාඩුව පවතින නියෝජ්‍ය කථානායක ධූරය පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් කථානායකවරයාගේ අවධානයට යොමු කර තිබේ. එහිදී කථානායක කරු ජයසූරිය මහතා දැනුම් දී ඇත්තේ, නියෝජ්‍ය කථානායකවරයාගේ ඉවත් වීම පිළිබඳව මෙතෙක් ජනාධිපතිවරයා විසින් තමන්ට දැනුම් දී නොමැති බව ය. මේ අතර පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමත් සමග අහෝසි වී ගිය කාරක සභා සඳහා නව සාමාජිකයින් පත් කිරීම ඉදිරි දින 2ක තුළ සිදු කරන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා පවසයි. පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ, කථානායකවරයා විසින් පක්ෂ නායකයින්ගේ ද එකඟතාව මත මෙම පත් කිරීම් සිදු කරන බව ය. ඒ අනුව කෝප් හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාව සඳහාත්, රාජ්‍ය ගිණුම්කාරක සභාව සඳහාත් නව සාමාජිකයින් පත් කිරීම සිදු කෙරෙනු ඇති. මීට අමතරව පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාව සඳහා අද දිනයේ සාමාජිකයින් පත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්වරයා පැවසුවේ ය.