කැලණියේ බැංකු කොල්ලකරු අල්ලා ගනී

කැලණියේ බැංකු කොල්ලකරු අල්ලා ගනී

by Sagarika Chathumali 10-05-2018 | 4:38 PM
COLOMBO (News 1st)  : බැංකු කොල්ලකෑම්වලට සම්බන්ධ සැකකරුවෙකු කිරිබත්ගොඩදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, සැකකරු අද දහවල් වත්තල නගරයේ පෞද්ගලික බැංකුවක් කොල්ලකෑමට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවයි. එම අවස්ථාවේදී ආරක්ෂක නිලධාරීන්ට මොහු සම්බන්ධයෙන් සැක පළ වී ඇති අතර පසුව ඔහු අල්ලා ගැනීමට ගිය අවස්ථාවේදී සැකකරු යතුරුපැදියකින් පලාගොස් ඇත. මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ පොලිස් ස්ථාන දැනුවත් කිරීමෙන් අනතුරුව කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා යතුරු පැදියෙන් පලා ගිය සැකකරු හඹා ගොස් කිරිබත්ගොඩදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, සැකකරු පසුගිය දා කැලණිය පොලිස් බල ප්‍රදේශයේ පෞද්ගලික බැංකු කිහිපයක් ම කොල්ල කා ඇති බවයි. සැකකරු 2017 වසරේ සැප්තැම්බර් මස 12 වන දා කිරිබත්ගොඩ ස්වර්ණාභරණ අලෙවිසලක් කොල්ල කා පලාගොස් තිබිණ. ඊට අමතරව 2018 වසරේ මාර්තු මස 20 වන දා කිරිබත්ගොඩ පෞද්ගලික බැංකුවකට කඩා වැදී එහි තිබූ රුපියල් ලක්ෂ 9 ක් ගිනි අවියක් පෙන්වා රැගෙන ගිය බව පොලීසිය සඳහන් කළේ ය. සැකකරු අප්‍රේල් මස 27 වන දා වත්තල පෞද්ගලික බැංකුවකට කඩා වැදී එහි නිලධාරීන්ට මිරිස් කුඩු ප්‍රහාරයක් ඒල්ල කර රුපියල් ලක්ෂ 7 ක මුදලක් කොල්ලා කා පලාගොස් තිබිණ. අත්අඩංගුවට ගත් සැකකරු කිරිබත්ගොඩ ඊරියවැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පසුගිය 27 වන දා සිදුවූ වත්තල බැංකු කොල්ලයට අදාළ දර්ශන....   https://www.youtube.com/watch?v=1zZKGAlhJzs