ඇලෝසියස් හා පාලිසේන යළි රිමාන්ඩ්

ඇලෝසියස් හා පාලිසේන යළි රිමාන්ඩ්

by Sagarika Chathumali 10-05-2018 | 3:39 PM
COLOMBO (News 1st) පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් හා එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන දෙදෙනා ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ, සැකකරුවන් අද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇති වත්කම් බැරකම් ප්‍රකාශවල පිටපත් පොලිස්පතිවරයාට ලබාදෙන ලෙසට දේශීය ආදායම් කොමසාරිවරයාට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය. එම සමාගම විසින් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමට ලබා දී ඇති මුදල් පිළිබඳව සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද ඩබලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයාට අධිකරණය නියෝග කළේ ය. එම නඩුවේ සැකකරුවන් වන අර්ජුන් ඇලෝසියස්, කසුන් පාලිසේන සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සියලු වත්කම් බැරකම් ප්‍රකාශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසට පසුගිය නඩු දිනයේදී අධිකරණය නියෝග කළේ ය. ඊට එරෙහිව විත්තියේ නීතිඥවරුන් කළ කරුණු දැක්වීම සම්බන්ධයෙන් ලිඛිත කරුණු දැක්වීමට නීතිපතිවරයා කළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරිය අද අවසර ලබා දුන්නා ය. නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයේදී කියා සිටියේ එම නඩුවේ පළමු සැකකරු ලෙස නම් කළ හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසිය මේ වනවිට රතු නිවේදනයක් නිකුත් කර ඇති බැවින් ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ලේඛන ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි.