අනුරුද්ධ පාදෙණියට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ජුනි 5

අනුරුද්ධ පාදෙණියට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ජුනි 5 වනදා

by Sagarika Chathumali 10-05-2018 | 6:40 PM
COLOMBO (News 1st)  : අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන ජුනි 05 වන දා ආරම්භ කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළේ ය. ඒ මහාචාර්ය සරත් විජේසූරිය සහ ගාමිණි වියන්ගොඩ යන මහත්වරුන් ගොනු කර තිබූ එම නඩුව අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු පී. පද්මන් සුරසේන සහ අර්ජුණ ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳ වූ අවස්ථාවේදීයි. මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් වෛද්‍ය උපාධිය ලබාගත් උපාධිධාරිනියකට වෛද්‍ය වෘත්තියේ නියැලීමට ඉඩ කඩ සලසමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කර ගන්නා ලෙසට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව 2017 අප්‍රේල් 07 වන දා කොළඹ පැවති රැස්වීමකදී විවේචනය කිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි, පැමිණිලිකරුවන් සිය පැමිණිල්ල මගින් අධිකරණයට පෙන්වා දී තිබිණ.