සහය දිවීමේ කණ්ඩායමට ආසියානු තරගාවලිය අහිමියි

සහය දිවීමේ කාන්තා කණ්ඩායමට ආසියානු තරගාවලිය අහිමිවෙයි

by Staff writer 09-05-2018 | 9:48 PM
එළඹෙන ජූනි මස 7 වන දා සිට 10 වන දා දක්වා ජපානයේදී පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා 12 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබේ. නමුත් පසුගිය දා මෙරට පැවති දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී නව තරගාවලි වාර්තාවක් ද සමගින් මීටර 100 බාලිකා සහය ධාවන ඉසව්ව ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊට ඇතුළත්ව නොමැත. ඔවුන් රන් පදක්කම දිනා ගත්තේ,  සුසන්තිකා ජයසිංහ හා දමයන්ති දර්ශා ද එක්ව 1994 දී  පිහිටවූ  මීටර් 100 ය 4 ශ්‍රී ලංකා කනිෂ්ඨ වාර්තාව බිඳ හෙළමිනි. මෙවර ආසියානු ශූරතාවලියේදී පදක්කමක් හිමිකර ගැනීමේ,  අවස්ථාවක් පවතිද්දීත් එම බාලිකා කණ්ඩායම සහභාගී කරවීමට බලධාරීන් කටයුතු නොකීරීම විමතියට කරුණකි. ආසියානු ශූරතාවලියට මීටර් 100, මීටර් 200, හා මීටර් 400 සහාය දිවීමේ ඉසව් සඳහා, සහාය දිවීමේ කණ්ඩායම නියෝජනය කළ අමාෂා සිල්වා එක්ව සිටින්නී ය. ඒ අනුව අනෙක් ක්‍රීඩිකාවන් තිදෙනා හෝ ඉහත සඳහන් කණ්ඩායමට ඇතුළත් කළ හොත් ශ්‍රී ලංකාවට මීටර් 100 සහාය දිවීමේ ඉසව්වෙන් දක්ෂතා දැක්වීමේ අවස්ථාව පවතී. මේ අතර නැවතත් ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායමේ කළමනාකරු ලෙස අනිල් වීරසිංහ නම් කර තිබීම ද විමතියට කරුණකි. ඔහුගේ ක්‍රියා කලාපය හා අතීත වාර්තා සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය මගින් පරීක්ෂණයක් සිදු කරන අවස්ථාවක මෙම පත් කිරීම සිදුකර තිබේ. කළමනාකරු සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් සිදු කරන බවත් එම පරීක්ෂණයේ නිර්දේශ මෙම සතිය තුළදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට ලබා දෙන බවත් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් ජයන්ත විජේරත්න පැවසී ය. මලල ක්‍රීඩාවේ අනාගතය භාර ගැනීමට සිටින කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දෙන අවස්ථා සම්බන්ධයෙන් අදූර දර්ශීව ක්‍රියාත්මක වීමෙන් ක්‍රීඩාවට සිදුවන හානිය අවධානයට ලක්විය යුතු නොවේ ද?.