දුම්රිය සේවක ඉල්ලීම්: යෝජනා කැබිනට් මණ්ඩලයට

දුම්රිය වෘත්තීය සංගම්වල ඉල්ලීම්වලට අදාළ විසඳුම් ඇතුළත් යෝජනා කැබිනට් මණ්ඩලයට

by Staff writer 09-05-2018 | 8:17 AM
COLOMBO (News 1st) - දුම්රිය වෘත්තීය සංගම් කළ ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුම් ඇතුළත් අමාත්‍ය අනු කමිටු යෝජනා අද කැබිනට් මණ්ඩලයට යොමු කරන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි. එහි නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේ, වෘත්තීය සමිතිවල ඉල්ලීම් සම්බන්ධයෙන් තමන් ඊයේ පස්වරුවේ ගැටලුව විසඳීමට පත් කළ අමාත්‍ය අනු කමිටුවේ සභාපති අචාර්ය සරත් අමුණුගම මහතා සමග සාකච්ඡා කළ බව ය. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරත වීමට සිටි දුම්රිය වෘත්තීය සමිති තමන් ඇතුළු ප්‍රවාහන අමාත්‍යංශ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවලින් අනතුරුව එය තාවකාලිකව අත්හිටවූ බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබා දෙන බව ද පැවසුවේ ය. ඒ සම්බන්ධයෙන් අප දුම්රිය නියාමකවරුන්ගේ සංගමයෙන් විමසීමක් කළේ ය. එහි සභාපති ජනක ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, අද දිනයේ තම ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුම් නොලැබෙන්නේ නම් යළිත් අඛන්ඩ වැඩ වර්ජනයක් අරඹන බව ය.