පාර්ලිමේන්තුවේ 2 වන සභා වාරය ජනපති ප්‍රධානත්වයෙන්

8 වන පාර්ලිමේන්තුවේ 2 වන සභා වාරය ජනපති ප්‍රධානත්වයෙන් අද ඇරඹේ

by Staff writer 08-05-2018 | 6:39 AM
COLOMBO (News 1st) - 8 වන පාර්ලිමේන්තුවේ 2 වන සභා වාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වේ. 70 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව 2018 අප්‍රේල් මස 12 වන දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසාන කළේ ය. ඒ අනුව පාර්ලිමේන්තුවේ මීළඟ වාරය අද ආරම්භ වන්නේ, සම්ප්‍රදායානුකූලව පැවැත්වෙන උත්සවයකින් අනතුරුව ය. ඒ වෙනුවෙන් අද ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත ය. පාර්ලිමෙන්තු සම්ප්‍රදාය අනුව පස්වරු 2.10ට පාර්ලිමේන්තුවේ ඝන පූර්ණ සීනුව නාද කිරීමෙන් පසු සියලු මන්ත්‍රීවරුන් පැමිණ සභාවේ අසුන් ගැනීම සිදුවේ. එහිදී සභා වාරය අරම්භ කරමින් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත ය. උත්සවය වෙනුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ සහ ඒ අවට ප්‍රදේශවල විශේෂ ආරක්ෂක වැඩපිළිවළක් ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කළේ ය. මේ අතර පසුගියදා සිය අමාත්‍ය ධූරවලින් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා අද සිට පාර්ලිමේන්තු සභාවේ විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත ය. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා දැනුවත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම විරක්කොඩි මහතා සඳහන් කළේ ය. අප මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව ය.‍