දකුණු සහ උතුරු මැද පළාත්වල මත්පැන් නිෂ්පාදනය ඉහළට

සෙසු පළාත්වලට සාපේක්ෂව දකුණු සහ උතුරු මැද පළාත්වල මත්පැන් නිෂ්පාදනය ඉහළට

by Staff writer 08-05-2018 | 9:54 AM
COLOMBO (News 1st) - දිවයිනේ සෙසු පළාත්වලට සාපේක්ෂව දකුණු සහ උතුරු මැද පළාත්වල මත්පැන් නිෂ්පාදනය ඉහළ ගොස් තිබේ. ඒ පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත්තේ, මැත කාලීනව සිදු කළ අධ්‍යයනයකට අනුව ය. සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සහකාර සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ, දීර්ඝ කාලීනව නීති විරොධී මත්පැන් නිෂ්පාදනය ව්‍යාප්තව පැවති පුත්තලමේ සිට කොළඔ දක්වා වෙරළ තීරයේ සිදු කළ අඛණ්ඩ වැටලීම් හේතුවෙන් නිෂ්පාදකයින් එම ප්‍රදේශ අත්හැර උතුරු මැද සහ දකුණට සංක්‍රමණය වී ඇති බව ය. සාම්ප්‍රදායික ප්‍රදේශවල මෙම ජාවාරම්වල නිරත වූ පුද්ගලයින් විසින් ම එම කටයුතු සඳහා දැන් වෙනත් ප්‍රදේශ තෝරාගෙන ඇති බව ද සිදු කළ නිරීක්ෂණවලට අනුව අනාවරණය වී තිබේ. මෙම තත්ත්වය පාලනය කිරීමට දිවයින පුරා අඛණ්ඩව වැටලීම් ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළේ ය.