ලෝක මැයි දිනයේ මෙරට සැමරුම අදයි

ලෝක මැයි දිනයේ මෙරට සැමරුම අද යි: දිවයිනේ ප්‍රදේශ රැසක මැයි දින පෙළපාලි

by Hashini De Mel 07-05-2018 | 6:20 AM

COLOMBO (News 1st) - ප්‍රධාන දේශපාලන පක්ෂ රැසක් අද මෙරටදී ලෝක කම්කරු දිනය සමරනු ඇත.

ලෝක කම්කරු දිනය පසුගිය පළමුවැනිදාට යෙදී තිබුණ ද මැයි දිනය සමග යෙදී තිබූ වෙසක් සතිය සැලකිල්ලට ගනිමින් මැයි පෙළපාලි සහ රැස්වීම් අද දිනයට කල් දැමීමට පසුගිය දා රජය තීරණය කළේ ය. රජය එම තීරණයට එළැඹියේ මහා සංඝරත්නය විසින් කරන ලද ඉල්ලීම සැලකිල්ලට ගනිමිනි. පැය අටක් ඉල්ලා ඇරඹුණු කම්කරු සටනක්, මහා ලේ වැගිරීමකින් කෙළවර වුයේ එක්තරා දිනයක් ලෝකයට කිසිදා අමතක නොවන ලෙස සලකුණු කරමිනි. ඒ, ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනයයි. වසර 132 කට පෙර එනම්, 1886 මැයි මස 01 වැනි දා කම්කරුවන් පිරිසක් අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්වූයේ, තම වැඩමුරය පැය 08 කට සීමාකරන්නැයි ඉල්ලමිනි. වැඩ වරා සටන් පාඨ කියමින් එදින එම උද්ඝෝෂණයට එක් වූ පිරිස දහසකට අධික වූ අතර තුන්වැනි දිනයේ ඊට එක් ව සිටි කම්කරුවන් පිරිස 65,000 ඉක්මවූහ. 1886 මැයි මස 03 වැනි දා වැඩවර්ජනයේ තීරණාත්මක දිනයයි. හාම්පුතුන්ගේ මෙහෙයවීමෙන් ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් පිරිසක් කම්කරුවන්ට ප්‍රහාරයක් එල්ල කළේ, සිව් දෙනෙකුට දිවි අහිමි කරමිනි. පහරදීමට විරෝධය පළ කරමින් මැයි මස 04 වැනි දා කම්කරුවන් පිරිසක් හේමාර්කට් චතුරශ්‍රයට එක් රැස් විය. පොලීසිය හා කම්කරුවන් වචන හුවමාරුවක පැටලුණු අවස්ථාවේ එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරියකු ද මිය ගියේ ය. ගැටුමක් දක්වා වර්ධනය වූ එය තවත් උග්‍ර වූයේ පොලිස් නිලධාරීන් 06 දෙනෙකුට ජීවිත අහිමි කරමිනි. ඒ ගැටුමේදී මියගිය කම්කරුවන් සංඛ්‍යාව අදටත් නිශ්චිතව කිව නොහැකිය. කම්කරු නායකයින් වූ - ඔගස්ටස් ස්පයිස්, ඇල්බට් පාර්සන්ස්, ඇඩොල්ෆ් ෆීෂර්, ජෝර්ජ් එන්ගල්, සැමුවෙල් ෆීල්ඩන්, ලුවී ලින්ග්, මයිකල් ෂ්වොබ්, ඔස්කා නිබේ පොලිස් අත්අඩංගුවට ගැනුණු අතර පසුව ඔවුන්ට නඩු පැවරිණි. ඔස්කා නිබේට වසර 15 ක සිර දඬුවමක් නියම වූ අතර සැමුවෙල් ෆීල්ඩන්ට සහ මයිකල් ෂ්වොබ්ට නියම වුණේ ජීවිතාන්තය දක්වා සිර දඬුවමයි. සෙසු පස් දෙනා එල්ලා මැරීමට නියම කෙරිණි. සේවා කාලය පැය 8 ට සීමා කරන්නැයි ඉල්ලා අරගල කරමින් රතු ලේ වැගිරු තම සගයින් සදාතනිකව සිහි කළ යුතු බවට ජාත්‍යන්තර කම්කරු සංවිධානය තීරණය කළේ 1889 වසරේදී ය. ඒ ඓතිහාසික සිද්ධිය සිදුවී වසර 132 ක් ගතව ඇති නමුත් ලොව පුරා කම්කරු ජනතාව අදත් වීදි බැස සිටින්නේ, අරගලය අනවරත බව පෙන්නුම් කරමින් ය. මේ අතර ප්‍රධාන දේශපාලන පක්ෂ රැසක මැයි දින රැලි අද දිවයිනේ විවිධ ප්‍රදේශවලදී පැවැත්වීමට සූදානම් වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද මැයි දිනය සමරනු ලබන්නේ, මඩකලපුව චෙන්කලඩි ප්‍රදේශයේදී. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. ඊට දිවයින පුරා පක්ෂ සාමාජිකයින් රැසක් සහභාගිවීමට නියමිත බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ ය. ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලිය කොළඹ බී. ආර්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැලිය ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා සඳහන් කර ඇත. මේ අතර එක්සත් ජාතික පක්ෂය මැයි දින රැස්වීම ඊයේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදි පැවැත් විය. ඒ පක්ෂයේ නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.