ලෙස්ටර්ගේ පදක්කම සොරාගත් 6 දෙනා රිමාන්ඩ්

ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ පදක්කම සොරාගත් 6 දෙනා රිමාන්ඩ්

by Sagarika Chathumali 07-05-2018 | 6:47 PM
COLOMBO (News 1st)  : ප්‍රවීණ සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී පිරිනැමුණු සම්මානය සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනා ලබන 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දමින්ද වැලිගොඩපිටිය මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. සැකකරුවන් 6 දෙනා අතරින් සොරකමට සෘජුව සම්බන්ධ වී ඇතැයි, අනාවරණ වී ඇති සැකකරුවන් දෙදෙනෙකු එදින හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේ ය. ජීවිතේ එක් වරක් පමණක් අද්විතීය සිනමාකරුවෙකුට හිමිවන ඉන්දීය යාවජීව කර්තව්‍ය සම්මානය 2000 වසරේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාට පිරිනැමුණේ, 31 වන අන්තර් ජාතික ඉන්දීය සිනමා සම්මාන උළෙලේදීයි. ඒ ඔහු සිනමාවට කළ අමිල මෙහෙවර අගයමිනි.