ගාල්ල නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්

මැයි රැලිය වෙනුවෙන් ගාල්ල නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්

by Hashini De Mel 07-05-2018 | 12:19 PM

COLOMBO (News 1st) - සමනළ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත මැයි දින උත්සවය හේතුවෙන් ගාල්ල නගරයේ අද විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය පවසයි.

පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, අද පෙරවරු 11.00 සිට පස්වරු 7.00 දක්වා එම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක බව ය. අදාළ කාලය තුළ කොළඹ සිට මාතර දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය ගිංතොට ඩිපෝව අසළ කලේගාන හන්දියෙන් වසා තැබෙනු ඇති. මාතර සිට කොළඹ දක්වා දිවෙන මාර්ගය හබරාදූව ඔරලෝසු කණුව අසළින් වසා තැබීමට නියමිත බව පොලීසිය සඳහන් කළේ ය. අදාළ කාලය තුළ පෙළපාලිය සඳහා කොළඹින් සහභාගි වන රථ වාහනවලට මහමෝදර දක්වාත් මාතරින් සහභාගි වන රථ වාහනවලට හබරාදූව අධිවේගී පිවිසුම් මාර්ගය දක්වාත් ගමන් කිරීමට පහසුකම් සලසා ඇති බව ද පොලීසිය සඳහන් කළේ ය.