රුසියානු නායකයාට විරෝධය පෑ දහසක් දෙනා අත්අඩංගුවට

රුසියානු නායකයාට විරෝධය පෑ දහසක් දෙනා අත්අඩංගුවට

by Sagarika Chathumali 06-05-2018 | 10:29 AM
COLOMBO (News 1st)  : ව්ලැදිමීර් පුටින්, යළි රුසියාවේ ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දීමට එරෙහිව විරෝධතාවයේ නිරත වූ එරට විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි ඇතුළු පුද්ගලයින් දහසක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, පුටින්ට එරෙහිව රුසියාව පුරා විරෝධතා රැළි 90 ක් පමණ සංවිධානය කර ඇති බවයි. විරෝධතා ආරම්භ වූයේ මොස්කව් නුවර කේන්ද්‍ර කරගනිමිනි. පසුගිය මාර්තු මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් 76% ක වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් පුටින් ජයග්‍රහණය කළේ ය. පශ්චාත් සෝවියට් යුගයේ රුසියානු නායකයෙකු ලබා ගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව එය වේ. ව්ලැදිමීර් පූටින් රුසියාව තුළ සිය දේශපාලන අණසක පතුරුවා මේ වන විට වසර විසිපහකි. මේ අනුව පූටින් සෝවියට් රුසියාවේ හිටපු ඒකාධිපති පාලක ජෝෂප් ස්ටාලින්ගෙන් පසු වැඩිම කාලයක් බලයේ සිටි නායකයා ලෙස ඉතිහාසයට එක්වනු ඇති. විරෝධතාකරුවන් පවසන්නේ පුටින් යළි බලය ලබාගත්තේ සාධාරණ ආකාරයකින් නොවන බවයි. කෙසේ වෙතත් එරට විපක්ෂය මෙලෙස විරෝධතා මාලාවක් ආරම්භ කර ඇත්තේ රුසියාවේ නව ජනාධිපතිවරයා ලෙස විලැදිමීර් පුටින් හෙට දිව්රුම් දීමට නියමිත පසුබිමකදීයි.