"ජ.වි.පෙ මේ රට කිසි දවසක බෙදන්න දෙන්නේ නැහැ"

"ජ.වි.පෙ මේ රට කිසි දවසක බෙදන්න දෙන්නේ නැහැ" - විජිත හේරත්

by Hashini De Mel 06-05-2018 | 9:48 PM

COLOMBO (News 1st) - ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද පැවැත් විය.

ඒ, පක්ෂ මූලස්ථානයේදී යි . විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන 20 වන ව්‍යවස්ථා සංශෝධන යෝජනාව පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වේ. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා යෝජනාවේ අන්තර්ගතය පිළිබඳ කරුණු මුල්වරට මාධ්‍යට දැනුම්දී ඇත. මහජන ඡන්දයෙන් තේරී පත්වන විධායක ජනාධිපතිවරයෙක් වෙනුවට පාර්ලිමේන්තුව විසින් තෝරා පත් කර ගන්නා ජනාධිපතිවරයෙක් පත්කිරීම මෙහි ඇතුළත් ප්‍රධාන කාරණය වේ. 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වුවහෝත් එය බලාත්මක වනුයේ 2020 ජනවාරි 8 වන දායින් පසුව ය. පවතින පාර්ලිමේන්තුව එහිදී විසුරුවා හැරියයුතු වන අතර නව පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් තෝරාගන්නා ජනාධිපතිවරයා රාජ්‍යයේ නායකයා වන අතර ඔහු ආණ්ඩුවේ නායකයා වන්නේ නැත. එලෙස පත්වන ජනාධිපතිවරයා අමාත්‍ය ධූරයක් නොදැරිය යුතු අතර අමාත්‍ය මණ්ඩලයට සහභාගී නොවන, අමාත්‍ය මණ්ඩලයේ නායකයා ද නොවන අයෙකි. නමුත් අමාත්‍ය මණ්ඩල තීරණ දැනගැනීමටත්, යෝජනා ඉදිරිපත් කිරීමටත් අයිතිය පවතින බව අදාළ යෝජනාවේ සඳහන් වනු ඇත. 13 වන ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනාධිපති සතු බලතල කිසිවක් වෙනස් නොවන අතර ආණ්ඩුකාරවරුන් පත් කිරීමේ, ඉවත් කිරීමේ සහ ඉඩම් පොලිස් බලතල එලෙසම පවතිනු ඇති. තානාපතිවරු සහ කොමසාරිස්වරු පත් කිරීමේ බලය සහ සිරකරුවන්ට පොදු සමාවදීම කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යටත් විය යුතු බව ද ජනතා විමුක්ති පෙරමුණ ගෙන ඒන යෝජනාවේ සඳහන් ය. ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි පාර්ලිමේන්තුව කල් දැමීමේ බලය මෙමගින් ඉවත්ව යනු ඇත. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, විජිත හේරත්,
20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් කිසි විටක රට බෙදන රට කඩන වැඩපිළිවළක් ක්‍රියාත්මක වෙන්නේ නෑ. අපි වගකීමෙන් කියනවා ගෞරවනීය හාමුදුරුවන් වහන්සේලාට අපේ හාමුදුරුවනේ ජනතා විමුක්ති පෙරමුණ මේ රට කිසි දවසක බෙදන්න දෙන්නේ නෑ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ජනාධිපතිතුමා සමග අග්‍රාමාත්‍යවරයා සමග විපක්ෂ නායකයා සමග මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග ඒ වගේම මේ රටේ සියලු දේශපාලන පක්ෂ නායකයින් සමග මේ පිළිබඳ සාකච්ඡා කරන්න. ඇත්තටම ගත්තොත් විධායක ක්‍රමය අහෝසි කරන්න ජන වරම් 5ක් දීලා තියනවා. 1994 ජනවරමක් දුන්නා, 99 ජනවරමක් දුන්නා, 2005 නැවත ජනවරමක් දුන්නා, 2010 ජනවරමක් දුන්නා, 2015 ජනාධිපතිවරයගේ ප්‍රධාන පොරොන්දුව ප්‍රධාන සටන් පාඨය වුනේ විධායක ක්‍රමය අහෝසි කිරීම. ජනවරම ලැබිලා තියෙන්නේ. 5 වතාවක් ජනාධිපතිවරු 5 දෙනෙක් ජනවරම ඉල්ලා සිටියා. මේ රටේ ජනතාව එය අහෝසි කිරීම සඳහා ජනවරම ලබාදීලා තියනවා https://www.youtube.com/watch?v=VGFniFAZlM0