ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරින් ඉවතට

වහාම ක්‍රියාත්මක වන පරිදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරින් ඉවතට

by Hashini De Mel 05-05-2018 | 8:29 AM

COLOMBO (News 1st) - වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එච්.එම්.බී.පී. හේරත් මහතා තනතුරින් ඉවත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇත.

ඒ, අද ආරම්භවීමට නියමිත දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා ක්‍රීඩා උපදේශකයින්ට අවශ්‍ය නේවාසික පහසුකම් නිසි පරිදි සැලසීමට අසමත්වීම හේතුවෙනි. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය සඳහන් කළේ, උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 84 දෙනෙකු සහ ක්‍රීඩා උපදේශකයින් 15 දෙනෙකු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉරිපත් වන බවයි. මෙම පිරිසට නේවාසික පහසුකම් සලසා තිබුණේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සතු ටොරින්ටන්හි පිහිටි නේවාසිකාගාරයේ ය. ඊයේ උදේ සිට නේවාසිකාගාරය තුළ විදුලිය බිඳ වැටී තිබු අතර ඒ හේතුවෙන් එහි සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ගැටලු රැසකට මුහුණදීමට සිදුවිණි. මෙම ගැටලුව විසඳීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ අතර අමාත්‍යවරයා මැදිහත්වීමෙන් අනතුරුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් බස් රථ යොදා හෝටලයක නවාතැන් ගැනීමට සැලැස් වූ බව ද ක්‍රීඩා අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.