උෂ්ණාධික කාලගුණය මේ මස මැද වන තෙක්

උෂ්ණාධික කාලගුණය මේ මස මැද දක්වා: ජලය වැඩිපුර පානය කරන්නැයි උපදෙස්

by Hashini De Mel 05-05-2018 | 6:25 AM

COLOMBO (News 1st) - උෂ්ණාධික කාලගුණ තත්ත්වය මේ මස මැද භාගය දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පරිසරයේ උෂණත්වය ඉහළ යාම, ආර්ද්‍රතාව වැඩි වීම හා සුළං වේගය අඩුවීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි. පසුගිය සති කිහිපයේ දිවයිනේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 35 - 38 ත් අතර අගයක් දක්වා ඉහළ ගොස් ඇත. මීට සාපේක්ෂව ආර්ද්‍රතාව ද ඉහළ යාම හේතුවෙන් ජනතාවට දිවා කාලයේ දැඩි අපහසුතාවකට පත්වීමට සිදුවිණි. මේ අතර පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් සිරුරට අහිතකර බලපෑම් එල්ලවිය හැකි බව සෞඛ්‍ය අංශ පවසා ඇත. දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ, කායික රෝග විශේෂඥ වෛද්‍ය දිල්හාර් සමරවීර මහතා පැවසුවේ, අධික හිරු රශ්මිය හේතුවෙන් පහසුවෙන්ම සිරුර විජලයට ලක්විය හැකි බවයි. අධික හිරු රශ්මිය හේතුවෙන් මතුවන අපහසුතා මග හරවා ගැනීම සඳහාගත යුතු ක්‍රියාමාර්ග ද ඔහු සඳහන් කළේ ය. අහිතකර බලපෑම්වලින් වැලැකීම සඳහා දිනකට ජලය ලීටර් 3 කට ආසන්න ප්‍රමාණයක් පානය කරන ලෙස දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය දිල්හාර් සමහරවීර මහතා දැනුම්දී ඇත.