උතුරු කොරියාව සහ දකුණු කොරියාවේ වේලාව එකක් වෙයි

උතුරු කොරියාව සහ දකුණු කොරියාවේ වේලාව එකක් වෙයි

by Hashini De Mel 05-05-2018 | 7:40 AM

COLOMBO (News 1st) - කොරියානු දෙරටේ නායකයින් අතර පැවති ඓතිහාසික හමුවෙන් පසුව දකුණු කොරියාවට සම වන පරිදි උතුරු කොරියාව සිය වේලාව වෙනස් කර තිබේ.

විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, උතුරු කොරියානු වේලාවෙන් ඊයේ රාත්‍රි 11.30 ට පමණ මෙම වෙනස සිදුකර ඇති බව ය. ඒ අනුව දකුණු කොරියානු වේලාවට සමාන වන පරිදි උතුරු කොරියානු වේලාව මිනිත්තු 30 ක් පමණ ඉදිරියට ගෙනවිත් ඇති බව සඳහන් වේ. මෙය කොරියානු දෙරට ඒකාබද්ධ කිරීමේ පළමු ප්‍රායෝගික පියවර බව දකුණු කොරියානු මධ්‍යම පුවත් ඒජන්සිය සඳහන් කළේ ය. එමෙන්ම උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සහ අමෙරිකානු ජනපති අතර හමුව සඳහා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිනයක් ලබා දුන් බව ද එම වාර්තාවන්හි දැක්වෙනු ඇති. මේ අතර උතුරු කොරියානු නායකයා සහ තමන් අතර හමුව සඳහා දිනයක් සහ ස්ථානයක් මේ වන විටත් වෙන් කර ඇති බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍යවේදීන් සමගින් පැවසු බව විදේස් වාර්තා සඳහන් කළේ ය. ජනපති ට්‍රම්ප් එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ, එය ඉතා ඉක්මනින්ම නිවේදනය කරනු ඇති බවයි. එහිදී බොහෝ යහපත් දෑ පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් යහපත් ප්‍රතිඵල අත්වනු ඇති බවත් ජනපති ට්‍රම්ප් පවසා ඇත. උතුරු කොරියානු නායකයා සමග සාකච්ඡා පැවැත්වීමට පෙර මේ මස 22 වන දා අමෙරිකානු ජනපති හා දකුණු කොරියානු ජනපති අතර සාකච්ඡාවක් ධවල මන්දිරයේදී පැවැත්වීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කළේ ය.