බදුල්ල හල්දුම්මුල්ලේ නාය යාම් තවදුරටත් සක්‍රීයයි

බදුල්ල හල්දුම්මුල්ලේ නාය යාම් තවදුරටත් සක්‍රීයයි

by Staff writer 04-05-2018 | 7:00 AM
COLOMBO (News 1st) - බදුල්ල, හල්දුම්මුල්ල සිට ගිනිගත්ගල ප්‍රදේශයට යන මාර්ගය ආශ්‍රිත කඳුවැටිය තවමත් නාය යමින් පවතියි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, දින 5කට පෙර මෙම නාය යාම ආරම්භ වී ඇති බව ය. මේ වන විටත් අක්කර 4ක පමණ ප්‍රදේශයක් නාය ගොස් තිබේ. අවදානම් තත්ත්වය හේතුවෙන් අදාළ ප්‍රදේශයේ පදිංචි පිරිස් මේ වන විටත් ඉවත් කර අවසන් ය. නාය යාම හේතුවෙන් හල්දුම්මුල්ල සිට ගිනිගත්ගල ප්‍රදේශයට යන ප්‍රධාන මාර්ගය වසා දමා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය. ඉන් කිරිමැටිය, නිදන්ගොඩ, ගිනිගත්ගල යන ග්‍රාමසේවා වසම් තුනෙහි පවුල් 600කට අධික පිරිසකගේ ගමනා ගමනයට බාධා මතුව ඇති බව අප වාර්තාකරු පැවසුවේ ය. මාර්ගය පහළ ප්‍රදේශයේ බදුල්ල - රත්නපුර ප්‍රධාන මාර්ගය පිහිටා ඇති අතර මේ වන විට එම මාර්ගය පස් කඳු කඩා වැ‍ටීමේ අවදානමකට ලක්ව තිබේ. නාය යාම සිදු වූ ස්ථානයේ සිට බදුල්ල - රත්නපුර ප්‍රධාන මාර්ගයට ඇති දුර ප්‍රමාණය මීටර් 50කි. හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා පැවසුවේ, අද දිනයේත් වැසි ඇද හැළුණහොත් ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩා වැටීමේ අවදානමක් ඇති බව ය. අනතුරුදායක තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමේ පුවරු සවි කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ ය.