අල්ලස් ගත් ඉහළ නිලධාරීන් දෙදෙනා රිමාන්ඩ්

අල්ලස් ගත් ජනපති කාර්යාල මාණ්ඩලික ප්‍රධානියා සහ දැව සංස්ථාවේ සභාපති රිමාන්ඩ්

by Staff writer 04-05-2018 | 6:27 AM
COLOMBO (News 1st) - අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානී ආචාර්ය අයි.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියසේන දිසානායක යන මහත්වරුන්ගේ සේවය වහාම අත්හිටුවන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර තිබේ. ඔවුන්ට එරෙහිව කිසිදු බලපෑමකින් තොරව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්නැයි ද ජනාධිපතිතුමා බලධාරීන්ට උපදෙස් දුන්නේ ය. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, අල්ලසට සහ දූෂණයට එරෙහි රජයේ ස්ථිරසාර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමේ වැදගත්කම මෙයින් තහවුරු වන බව ය. නීතිය ක්‍රියාත්මක කරන රජයේ නිලධාරීන්ට සිය රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමට වත්මන් රජය යටතේ ඇති කර තිබෙන ස්වාධීන සහ අපක්ෂපාතී පසුබිම පිළිබඳව තමා සතුටු වන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය. ජනාධිපති කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානී සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා කොළඹ තරු පහේ හෝටලයක් තුළදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබු‍වේ ඊයේ පස්වරුවේදී ය. රුපියල් කෝටි 56ක අල්ලසක් ඉල්ලා එය කෝටි 10කට කේවල් කර රුපියල් කෝටි 2ක අත්තිකාරම් මුදලක් ලබා ගන්නා අවස්ථාවේදී මොවුන් අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසමේ කොමසාරිස් නෙවිල් ගුරුගේ මහතා නිව්ස්ෆස්ට් කළ විමසීමකදී සඳහන් කළේ ය. මේ අතර ඊයේ රාත්‍රියේ ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 9 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. https://www.youtube.com/watch?v=biusxftHL3U