හල්දුමුල්ලේ කඳු වැටියක් නාය යයි.

හල්දුමුල්ලේ කඳු වැටියක් නාය යයි

by Sagarika Chathumali 03-05-2018 | 7:37 PM

COLOMBO (News 1st ) : බදුල්ල, හල්දුමුල්ල සිට ගිනිගත්ගල ප්‍රදේශයට යන මාර්ගය ආශ්‍රිත කඳු වැටිය නාය යමින් තිබේ.

අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, දින 4ක සිට මෙම නායයාම ආරම්භ වී ඇති බවයි. අද අලුයම වනවිට තත්ත්වය වඩාත් වර්ධනය වී ඇති අතර ප්‍රදේශයේ අක්කර 4 ක පමණ ප්‍රදේශයක් නාය ගොස් තිබේ. අද පෙරවරුව වනවිට නාය යාමෙන් හල්දුමුල්ල සිට ගිනිගත්ගල ප්‍රදේශයට යන ප්‍රධාන මාර්ගය මුළුමනින්ම අවහිර විය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, අවදානම් තත්ත්වය හේතුවෙන් අදාළ ප්‍රදේශයේ පදිංචි පිරිස් මේ වනවිටත් ඉවත් කර ඇති බවයි. නායයාම හේතුවෙන් කිරිමැටිය, නිදන්ගොඩ, ගිනිගත්ගල ග්‍රාමසේවා වසම් තුනෙහි පවුල් 600 කට අධික පිරිසකගේ ගමනා ගමනයට බාධා මතුව ඇති බව අප වාර්තාකරු පැවසී ය. මාර්ගය පහළ ප්‍රදේශය බදුල්ල - රත්නපුර ප්‍රධාන මාර්ගය පිහිටා ඇති අතර මේ වනවිට එම මාර්ගයට පස් කඳු කඩා වැ‍ටීමේ අවාදානමකට ලක්ව තිබේ. නායයාම සිදුවූ ස්ථානයේ සිට බදුල්ල - රත්නපුර ප්‍රධාන මාර්ගයට ඇති දුර ප්‍රමාණය මීටර් 50 කි. හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා පැවසුවේ, අද දිනයේත් වැසි ඇද හැලුණ හොත් ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩා වැටීමේ අවදානමක් ඇති බවයි. අනතුරුදායක තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමේ පුවරු සවිකර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පැවසී ය. එම අධිකාරියේ ප්‍රෙද්ශය භාර නිලධාරියෙකු පැවසුවේ, තවදුරටත් අවදානමක් තත්ත්වයක් මතුවන්නේ නම් මාර්ගයේ වාහන ගමනා ගමනය නවතා දැමීමට පියවර ගන්නා බවයි.