ප්‍රදේශ රැසක අද උණුසුම් කාලගුණ තත්ත්වයක්

ප්‍රදේශ රැසක අද උණුසුම් කාලගුණ තත්ත්වයක්

by Chathuranga Rajapaksha 03-05-2018 | 7:01 AM
COLOMBO (News 1st) - උතුර, උතුරු මැද, නැගෙනහිර පළාත්වල බොහෝ ස්ථානවලත් වයඹ සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලත් අද දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ පිළිබඳව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බව ය. ඊයේ පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම උෂ්ණත්වය වාර්තා වන්නේ පොලොන්නරුව දිස්ත්‍රික්කයෙනි. එය සෙල්සියස් අංශක 37 යි දශම 1 කි. ඊයේ පස්වරු 2.30 පමණ වනවිට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය වාර්තා වූයේ සෙල්සියස් අංශක 35 යි දශම 5 ක් ලෙස ය. මෙවැනි උණුසුම් කාලගුණ තත්ත්වයකදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් වැඩබිම් වල සේවය කිරීමේදී සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙස ත් කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව උපදෙස් දෙන්නේය. නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳව සැළකිලිමත් වන ලෙස ත්, කුඩා ළමුන් වාහන තුළ තනියම රඳවා නොයන ලෙසත් අදාළ උපදෙස්වල දැක්වේ. මේ අතර, දිවයිනේ ප්‍රදේශ රැසක අද සිට වැසි තත්වයේ වැඩි වීමක් ද අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා සඳහන් කළේ, බස්නාහිර, දකුණ, සබරගමු, මධ්‍යම සහ වයඹ පළාත්වල අද සිට වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව ය. ඇතැම් විට උතුරු මැද පළාත තුළ ද වැසි තත්ත්වය බලාපොරොත්තු විය හැකි බව ද ඔහු පවසයි. වැසි සමග අකුණු අනතුරු ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳව ජනතාව සැළකිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා සඳහන් කළේය.