හිටපු ජනපති පවුලේ නාවික ආරක්ෂකයින් ගැන පරීක්ෂණ

තජුඩීන් ඝාතනය:හිටපු ජනපති පවුලේ නාවික ආරක්ෂකයින් ගැන පරීක්ෂණ

by Sagarika Chathumali 03-05-2018 | 8:54 PM
රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනය සම්භන්ධ නඩුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි විභාගයට ගැනිණ. අද නඩුව විභාගයට ගැනුණේ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සමාජිකයින්ගේ ආරක්ෂාවට යොදවා සිටි නාවික හමුදා සාමාජිකයින් භාවිත කළ දුරකථන සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමට පියවර ගෙන ඇතැයි, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට දැනුම් දුන්නේ ය. විමර්ශන නිලධාරීන් කියා සිටියේ තජුඩීන් මහතා ඝාතනයට ලක්වීමට ටික වෙලාවකට පෙර ඔහු පැවැත්වූ සාදයේ සිටි කාන්තාවක් ඔහුගේ ජංගම දුරකතනයට යොමුකර ඇති සැක සහිත කෙටි පණිවුඩ සම්බන්ධයෙන් පුද්ගලයින් රැසකගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවයි. නඩුව ජුනි 29 වන දා දක්වා කල් තැබීමට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය. නඩුවේ සැකකරුවන් වන හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිළධාරි මහාචාර්ය ආනන්ද සමරසේකර , නාරාහෙන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති ධමිමික පෙරේරා යන මහත්වරු ද අද අධිකරණය හමුවේ පෙනි සිටියහ.