ඔබත් මේ ගැන දැනුවත් ද?

ඔබත් මේ ගැන දැනුවත් ද?

by Staff writer 03-05-2018 | 5:21 PM
COLOMBO (News 1st) - සමාජ ජාල මාධ්‍ය හරහා වංචනික ක්‍රියා රැසක් සිදුවන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංගමය පවසයි. එම සංගමය පවසන්නේ, සමාජ ජාල මාධ්‍ය හරහා විවිධ පුද්ගලයින්ගෙන් වංචා සහගත ලෙස මුදල් ලබා ගැනීම් පිළිබඳව පැමිණිලි ලැබී ඇති බව ය. මෙලෙස වංචනික ක්‍රියාවන්ට ගොදුරු වූ පුද්ගලයින් 5 දෙනෙකුගෙන් පරිගණක හදිසි ප්‍රතිචාර සංගමයට මෑතකදී පැමිණිලි ලැබී තිබේ. පරිගණක හදිසි ප්‍රතිචාර සංගමය පවසන්නේ, අදාළ පුද්ගලයින් 5 දෙනාගෙන් රුපියල් මිලියන 1.8කට වැඩි මුදලක් වංචනික කණ්ඩායම් විසින් ලබා ගෙන ඇති බව ය.

මෙම වංචා සිදු වන්නේ කෙසේ ද?

වංචනික කණ්ඩායම් ප්‍රථමයෙන් ම සමාජ ජාල මාධ්‍ය හරහා ඉලක්ක කර ගනු ලැබූ පුද්ගලයින්ව මිත්‍ර කර ගනියි. ඉන් පසුව වටිනා ත්‍යාගයක් එවීමට ඇතැයි පවසමින් ඒ සඳහා රේගු ගාස්තු ගෙවීමට මුදල් එවන ලෙස දැනුම් දෙනු ලබයි. පරිගණක හදිසි ප්‍රතිචාර සංගමයට අනුව මෙලෙස මෙම වංචාවන්ට ගොදුරු වූ බවට පැමිණිලි කර ඇත්තේ, අවුරුදු 50ත් 60ත් අතර වියේ පසුවන කාන්තාවන් ය. එම කාන්තාවන්ගෙන් එක් අයෙකු විවාහක සහ අනෙක් කාන්තාවන් වැන්දඹු හෝ අවිවාහක කාන්තාවන් ය. මෙවැනි වංචනික ක්‍රියාවලට හසු නොවන ලෙස පරිගණක හදිසි ප්‍රතිචාර සංගමයේ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.