ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් දැයෙන් සමුගනී

සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් දැයෙන් සමුගනී

by Hashini De Mel 02-05-2018 | 8:06 PM

COLOMBO (News 1st) - අද්විතීය සිනමාවේදී අභාවප්‍රාප්ත, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදු කෙරුණි.

ඒ, රාජ්‍ය ගෞරව සහිතවයි. හෙළ සිනමාවේ පියා ලෙස සැලකෙන ලොව ජ්‍යේෂ්ඨතම සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා පසුගිය 29 වන දා කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. ඒ වන විට ඔහු පසුවූයේ 99 වන වියෙහි ය. දේශීය හා විදේශීය කලාකරුවන්, සිනමා නිෂ්පාදකයින් හා රසිකයින් රැසක් ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අදත් පැමිණ සිටියහ. තිඹිරිගස්යාය, ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි නිවසේ තැන්පත් කර තිබූ දේහය අද පස්වරු 3.00 ට පමණ කොළඹ නිදහස් චතුරශ්‍රයට රැගෙන ආවේ රිය පෙරහැරකිනි . ජාතික චිත්‍රපට සංස්ථාව අසළදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වෙනුවෙන් විශේෂ උපහාරයක් ද පුද කෙරිණි. නිදහස් චතුරශ්‍රයේ සකස් කර තිබූ විශේෂ පීඨිකාවේ දේහය තැන්පත් කිරීමෙන් අනතුරුව ආගමික වතාවත් සිදු කර ඇත. ඉන්දීය සිනමාවේදී අදූර් ගෝපාල් ක්‍රිෂ්ණන්, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට අවසන් ගෞරව පුදකිරීම සඳහා නිදහස් චතුරශ්‍රයට පැමිණියේ ය. සියලු දෙනා අවසන් ගෞරව පුදකිරීමෙන් අනතුරුව, විශේෂ පීඨිකාවෙන් දේහය අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන ස්ථානය වෙත රැගෙන ගොස් තිබේ. සංදේශය සිනමා පටයේ ඉංග්‍රීසි බලකොටුවේ අනුරුවක ආකාරයෙන් ඉදිකර තිබූ චිතකයේදී ඔහු අවසන් ගමන් ගියේ ලෝක සිනමා සිතියමේ සදාතනික රන් රේඛාවක් ලියා තබමිනි.