රැකියා විරහිත උපාධිධාරීන් 20000කට පත්වීම්

රැකියා විරහිත උපාධිධාරීන් 20000කට පත්වීම්

by Staff writer 02-05-2018 | 9:14 AM
COLOMBO (News 1st) - රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයේ පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මේ වන විට අවසන් කර ඇති බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි. එහි අතිරේක ලේකම් අසංග දයාරත්න මහතා සඳහන් කළේ, ඉන් තෝරා ගත් උපාධිධාරීන් 20000කට ලබන ජූනි මාසයේදී පත්වීම් ලබා දෙන බව ය. කෙසේ වෙතත් එලෙස බඳවා ගන්නේ, 2016 දෙසැම්බර් මස 31 හෝ ඊට පෙර උපාධිය ලබා ගත් පිරිස් පමණක් බව ද ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර වසර දෙකක්ව තිබූ ඔවුන්ගේ පුහුණු කාලය වසරක් දක්වා අඩු කිරීමට ද රජය තීරණය කර තිබේ. ඒ අනුව පුහුණු කාලයෙන් අනතුරුව රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීම් එම 20000ට හිමි වන අතර එතෙක් මාසිකව ඔවුන්ට රුපියල් 20000ක දීමනාවක් ලබා දෙන බව ද අතිරේක ලේකම්වරයා සඳහන් කළේ ය. දිවයින පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී පැවති සම්මුඛ පරීක්ෂණවලට උපාධිධාරීන් 57000ක් පමණ සහභාගී වූ බව ද ඔහු පැවසුවේ ය. ඒ අනුව ඉතිරි රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගන්නා ආකාරය පිළිබඳව නිව්ස්ෆස්ට් අතිරේක ලේකම්වරයාගෙන් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ, ඒ සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ රජය බව ය.