නව රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු මෙන්න...

නව රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු මෙන්න...

by Staff writer 02-05-2018 | 12:15 PM

COLOMBO (News 1st) - නව රාජ්‍ය අමාත්‍යවරුන් 8 දෙනෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්හ.

අද පෙරවරු 10.30 ට පමණ මෙම දිවුරුම්දීම සිදුවුයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පාලිත රංගේ බණ්ඩාර මහතා අද දිවුරුම් දුන්නේ ය. ආපදා කළමනාකරණය ඔහුගේ රාජ්‍ය අමාත්‍ය ධූරයට අලුතින් එක් වූ විෂයයි. දිලිප් වෙදආරච්චි මහතා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ය. ග්‍රාමීය ආර්ථික කටයුතු ඔහුගේ අමාත්‍යංශයට එක් ව ඇති නව විෂයයි. එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා මහතා මහා මාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුනි. ඔහු මීට පෙර කටයුතු කළේ, පුනරුත්ථාපන හා නැවත පදිංචිකිරීම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසිනි. මොහාන් ලාල් ග්‍රේරු මහතා උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර සංස්කෘතික කටයුතු ඔහුට අලුතින් එක්කර ඇත. චම්පිකා ප්‍රේමදාස මහතා දිවුරුම් දුන්නේ, වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය අමාත්‍යවරයා ලෙසයි. කර්මාන්ත හා වානිජ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චම්පිකා ප්‍රේමදාස මහතා මීට පෙර කටයුතු කළේ ය. ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා විද්‍යා හා තාක්ෂණ, පර්යේෂණ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ උඩරට උරුමය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයායි. නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු, උඩරට උරුමය ඔහුගේ අමාත්‍යංශයට එක් වූ නව විෂයන් වේ. ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ක්‍රීඩා සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නා ය. මීට පෙර මහින්ද අමරවීර මහතා දැරූ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යධූරය වීරකුමාර දිසානායක මහතාට ලබාදී තිබේ. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අමීර් අලි මහතා අද දිවුරුම් දුන් අතර මීට පෙර ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දුනේෂ් ගන්කන්ද මහතා ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුනි. රන්ජන් රාමනායක මහතාට හිමිවූයේ සමාජ සවිබලගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය ධූරයයි. මීට පෙර ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුත කළ එච්. එම්. එම් හාරිස් මහතා අද රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර නගර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ය. විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ, කරුණාරත්න පරණවිතාන මහතායි. සාරති දූෂ්මන්ත් මහතා අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර ඇත. තිරසර සංවර්ධන, වනජීවි සහ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ පාලිත තෙවරප්පෙරුම මහතායි. සමාජ සුබ සාධන හා ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මුත්තු සිවංලිගම් මහතා දිවුරුම් දුන්නේ ය. මනූෂ නානායක්කාර මහතා විදේශ රැකියා, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍යවරයායි. ජාතික ඒකාබද්ධතා, සංහිදියා සහ රාජ්‍ය භාෂා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අලි සහීර් මවුලානා මහතා අද දිවරුම් දුන්නේ ය. මේ අතර ඊයේ කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනෙක් ද දිවුරුම් දුන්හ. ආචාර්ය සරත් අමුණුගම මහතා ඊයේ පත්කළේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ උඩරට උරුමය පිළිබඳ අමාත්‍යවරයා ලෙසයි. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් එස්. බී. නාවින්න මහතා අභ්‍යන්තර හා වයඹ කටයුතු සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නේය. කෘෂිකර්ම අමාත්‍යධූරයේ දිවුරුම් දුන්නේ මහින්ද අමරවීර මහතායි. දුමින්ද දිසානායක මහතා වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ සහ ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස පත්කෙරිණි. විජිත් විජයමුණි සොයිසා මහතා, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාවරයා ලෙස දිවුරුම් දුන් අතර සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යවරයා ලෙස පී. හැරිසන් මහතා පත්කර ඇත. කබීර් හෂීම් මහතා අධිවේගී මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් රංජිත් මද්දුමබණ්ඩාර මහතා නීතිය හා සාමය, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යවරයා ලෙසත් ඊයේ දිවුරුම් දුනි. තලතා අතුකෝරළ මහත්මිය අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරියයි. ඩී. එම්. ස්වාමිනාදන් මහතා නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම්, උතුරු පළාත් සංවර්ධනය සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යධූරයට පත්කෙරිණි. ෆයිසර් මුස්තාෆා මහතාට හිමවූයේ ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ධූරයයි. ව්‍යාපෘති කළමනාකරණය, යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා ලෙස සාගල රත්නායක මහතා ඊයේ දිවුරුම් දුන්නේ ය. මනෝ ගනේෂන් මහතා ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යවරයායි. දයා ගමගේ මහතා සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ප්‍රාදේශීය සංවර්ධන, තිරසර සංවර්ධනය හා වනජීවී අමාත්‍යධූරය හිමි විණ. රවීන්ද්‍ර සමරවීර මහතා දිවරුම් දුන්නේ, කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යවරයා ලෙසයි. අමාත්‍යධූරයෙන් ඉවත්කර සිටි විජයදාස රාජපක්ෂ මහතා උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස ඊයේ නැවත පත්වීම් ලබා ගත්තේ ය. https://www.youtube.com/watch?v=fFmYfxy7yT8 https://www.youtube.com/watch?v=VGHZqIhyDjc