රණසිංහ ප්‍රේමදාස මහතාගේ 25 වන ගුණ සැමරුම

හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 25 වන ගුණ සැමරුම අලුත්කඩේ පිහිටි ප්‍රේමදාස මහතාගේ පිළිරුව අභියසදී

by Staff writer 01-05-2018 | 12:27 PM
COLOMBO (News 1st) - හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 25 වන ගුණ සැමරුම අදට යෙදී තිබේ. එහි ප්‍රධාන සැමරුම් උත්සවය අද පැවැත්වුණේ, කොළඹ අලුත්කඩේ පිහිටි ප්‍රේමදාස මහතාගේ පිළිරුව අභියසදී ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවය ඇරඹුණේ, හිටපු ජනාධිපති බිරිඳ හේමා ප්‍රේමදාස මහත්මිය ඇතුළු පිරිස ප්‍රේමදාස පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ය. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද එක්ව සිටියහ. ගුණානුස්මරණයට සමගාමීව පවුල් 2308කට නිවාස ඔප්පු පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණි. කම්කරු පක්ෂයෙන් දේශපාලන අත්පොත් තැබූ රණසිංහ ප්‍රේමදාස මහතා මුලින් ම කොළඹ නගර සභාවට තේරී පත්වී ටික දිනකින් නියෝජ්‍ය පුරපති ධූරයට පත් විණි. ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් වුණේ, 1965දී ය. එතැන් සිට පළාත් පාලන අමාත්‍ය ධූරය, අගමැති ධූරය සහ මෙරට දෙවන විධායක ජනපති ධූරය දක්වා ප්‍රේමදාස මහතා පැමිණියේ ය. මෙරට නිවාස විප්ලවයකට මුල් වූ ගම් උදාව මෙන් ම ජන සවිය, මාපිය කැපකරු ක්‍රමය, පාසල් දරුවන්ට නිල ඇඳුම් ලබා දීම ඇඟලුම් කම්හල් 200 වැඩසටහන ආදී යුග යුග අමතක නොවන ජන මෙහෙවරක නියැලුණ රණසිංහ ප්‍රේමදාස මහතා 1993 මැයි පෙළපාලියට සහභාගී වී සිටි අතුරතුර ඝාතනයට ලක් විය.