ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවමංගල්‍ය කටයුතු හෙට

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවමංගල්‍ය කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව හෙට

by Staff writer 01-05-2018 | 9:05 AM
COLOMBO (News 1st) - අභාවප්‍රාප්ත ලොව ජ්‍යෙෂ්ඨතම සිනමාකරු, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන්, රසික රසිකාවියන් ඇතුළු විශාල පිරිසක් පැමිණෙමින් සිටිති. මහජන ගෞරව දැක්වීම සඳහා දේහය මේ වන විට තැන්පත් කර තිබෙන්නේ තිඹිරිගස්යාය, ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි නිවසේ ය. අභාවප්‍රාප්ත සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවමංගල්‍ය කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් හෙට සවස නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වේ. ස්වදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ, හෙට පෙරවරුවේ නිවසේදී ආගමික වතාවත් පවත්වා රිය පෙරහැරකින් දේහය නිදහස් චතුරශ්‍රයට රැගෙන ඒමට නියමිත බව ය. ජාතික චිත්‍රපට සංස්ථාව අසලදී කලාකරුවන් විසින් දේහය භාර ගැනීමට නියමිතව තිබේ. ආදාහන උත්සව සංවිධායක කමිටුව පවසන්නේ, චිත්‍රපට සංස්ථාව අසලදී කලාකරුවන් විසින් පිළිගනු ලබන දේහය රූපවාහිනී සංස්ථාවත් ගුවන්විදුලි සංස්ථාවත් අතර මාර්ගය ඔස්සේ නිදහස් චතුරශ්‍රය වෙත ප්‍රවේශ වන බව ය. ආදාහන උත්සවය පැවැත්වෙන කාලයේදී කොළඹ නිදහස් චතුරශ්‍රය හා ඒ අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කළේ ය. ලොව ජ්‍යෙෂ්ඨතම සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා පෙරේදා රාත්‍රී 8.45ට පමණ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍ර‍තිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වන විට 99 වන වියෙහි පසු විය.