අකුරට වැඩ වනජීවී නියාමක ගැටලු විසඳීමට සාකච්ඡාවක්

අකුරට වැඩ වනජීවී නියාමක ගැටලු විසඳීමට විශේෂ සාකච්ඡාවක්

by Staff writer 01-05-2018 | 6:52 AM
COLOMBO (News 1st) - සිය අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අද සාකච්ඡාවක් පැවැත්වෙන බව වනජීවී නියාමකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති ඉන්දික වසන්ත පීරිස් මහතා සඳහන් කළේ, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව තම ඉල්ලීම්වලට විසඳුමක් නොලැබුණහොත් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව පවත්වාගෙන යන බව ය. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ගම්වදින වන අලි පළවා හැරීම ඇතුළු කටයුතු රැසක් අඩාල වී ඇතැයි වනජීවී නියාමකවරුන්ගේ සංගමය පවසයි. වනජීවී නියාමකවරුන් පසුගිය සිකුරාදා සිට අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන්නේ, දිරි දීමනා ගැටලුවක් මුල් කර ගනිමිනි. මේ සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතාගෙන් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ, අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් වන අලීන් පළවා හැරීම් සහ ප්‍රතිකාර කිරීම්වලට කිසිදු බාධාවක් එල්ල වී නොමැති බව ය. වෙනත් නිලධාරීන් යොදවා එම කටයුතු සිදු කරන බව ඔහු සඳහන් කළේ ය.