එදා වේල ද? දරුවාගේ අධ්‍යාපනය ද?

එදා වේල ද? දරුවාගේ අධ්‍යාපනය ද?

එදා වේල ද? දරුවාගේ අධ්‍යාපනය ද?

කර්තෘ Sagarika Chathumali

01 May, 2018 | 6:01 pm

— ළඟ ම පාසල හොඳ ම පාසලයි —

අධ්‍යාපන බලධාරීන්ගේ එම සංකල්පයට වලංගු නොවන දරුවන් පිරිසක් පිළිබඳව අනුරාධපුරයෙන් වාර්තතා වේ.

නොච්චියාගම අධ්‍යාපන කලාපයට අයත් මඩදෙණිගම සහ බෙල්ලන්කල්ල ගම්මාන දෙකේ දරුවන්ට ළග ම පිහිටි පාසල සොයා සැතපුම් 7ක් දුර යාමට සිදුව තිබෙනවා…

පොදු යැයි කියනා කිසිදු පහසුකමක් නැතිව දැඩි දුෂ්කරතා මධ්‍යයේ මේ ගම් දෙකේ ජීවත්වන පවුල් සංඛ්‍යාව 300ක්.

හේනක් පිටියක් කර ගෙන ජීවත් වන මේ ජනතාව දරුවන් පාසලට ගෙන රැගෙන ගිය ඔවුන්ට එදා වේල අහිමි වෙනවා නියතයි.

වන අලින් ගහන මහා මූකලාන මැදින් පිහිටි මේ පාරේ දරුවා තනිව ම පාසලට පිටත් කළ හොත් ඒ දැන දැන ම දරුවන්ගේ ජීවිත අවදානමේ හෙළීමක්

උද්ගතව ඇති තත්ත්වය හමුවේ මේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ප්‍රාථමික පාසලක් ලබා දෙන ලෙසයි.

දරුවා පාසලට ගෙන ගිය හොත් ගොවි බිම් වන අලියාට දන් දුන්නා වැනි යි, ගොවි බිම රැකගෙන දරුවා තනිව පාසලට පිටත් කළ හොත් දැන දැනම සිය දරුවා වන අලියාට බිලි දුන්නා වැනියි.

ඔවුන් මුහුණ දී සිටින මේ අවනඩුව ඉහළ යැයි කියා ගන්නා සියලු බලධාරීන්ට දැනුම් දුන්නත් ඒ දෙස ඇහැක් ඇර හෝ බලා ඇති බවක් නම් පෙනෙන්නට නැහැ.

අර්ථයක් නැති මහා පරිමාණ ව්‍යාපෘති වෙනුවෙන් මුදල් යොදවන අපේ රටේ බලධාරීන්ට, රටේ ආනාගතය වෙනුවෙන් පාසලක් ඉදි කර දී අයෝජනයක් සිදු කිරීම වැනි සත් ක්‍රියාවකට සිත් පහළ නොවීම එක් අතකින් පුදුමයට කරුණක් නොවෙයි.

එහෙත් මේ අසරණ මව්පියන් වෙනුවෙන් බලධාරීන්ගෙන් විමසිය යුතු එක් ප්‍රශ්නයක් තිබෙනවා.

සංකල්ප නඩත්තු කිරීම පසෙක තබා දරු පරපුර වෙනුවෙන් ප්‍රායෝගික වැඩසටහන් ක්‍රියාවට නැංවිය නොහැක්කේ ඇයි…?