Bestweb 2018
Bestweb 2018
උඩරට දුම්රිය සේවකයින් හදිසි වර්ජනයක

උඩරට දුම්රිය සේවකයින් හදිසි වර්ජනයක

උඩරට දුම්රිය සේවකයින් හදිසි වර්ජනයක

11 May, 2018 | 6:41 am

COLOMBO (News 1st) – බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය සහ කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රිය අද අලුයම නාවලපිටිය දුම්රිය ස්ථානයට ආසන්නයේ හදිසියේ නවතා දමා තිබේ.

අදාළ දුම්රිය සේවකයින් එලෙස සිය රාජකාරීවලින් ඉවත්ව ඇත්තේ, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරමිනි.

රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් මේ වන විට නාවලපිටිය දුම්රිය ස්ථානයට ආසන්නයේ නවතා දමා තිබේ.

මගීන් සඳහන් කළේ, කිසිදු දැනුම් දීමකින් තොරව මෙලෙස දුම්රිය නවතා දැමීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ය.

ඒ සම්බන්ධයෙන් දුම්රිය පාලක මැදිරියෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මේ පිළිබඳව විමසීමට නාවලපිටිය දුම්රිය ස්ථානය හා සම්බන්ධ වීමට නොහැකි වී ඇති බව ය.

දුම්රිය නියාමකවරයෙකු, ස්ථානාධිපතිවරයෙකුට තර්ජනය කිරීමේ සිදුවීමක් මුල් කර ගනිමින් රඹුක්කන සිට උඩරට දුම්රිය මාර්ගයේ සියලු දුම්රිය ස්ථානවල සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවට තොරතුරු ලැබී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

ඒ හේතුවෙන් රඹුක්කන සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රියන් 5ක් ද අවලංගු කිරීමට සිදුව ඇති බව එම ප්‍රකාශකයා නිව්ස්ෆස්ට් වෙත පැවසුවේ ය.

දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්. අබේවික්‍රම මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී ඔහු පැවසුවේ, සිද්ධියට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ය.

කෙසේ වෙතත් දුම්රිය මගීන් ගමනාන්තය දක්වා ප්‍රවාහනය කිරීමට බස් රථ යෙදවීමට පියවර ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

කර්තෘ: Sakila Udayakumara