හෙළ සිනමා සිතියමේ සදාතනික රන් රේඛාව....

හෙළ සිනමා සිතියමේ සදාතනික රන් රේඛාව, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්...

by Sagarika Chathumali 30-04-2018 | 8:11 PM

COLOMBO (News1st) : සිනමාවේ සජිවී යුගයක් අවසන් කරමින් හෙළ සිනමාවට නිධානයක් වූ ලොව ජ්‍යේෂ්ඨතම සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.

ලොව ජ්‍යේෂ්ඨතම සිනමාකරු, ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඊයේ රාත්‍රි 8.45 ට පමණ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍ර‍තිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වන විට 99 වැනි වියේ පසුවිය. දේහය, අද දහවල් තිඹිරිගස්යාය, ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි නිවසට රැගෙන ආ අතර අනිද්දා පෙරවරු 10 දක්වා අවසන් ගෞරව දැක්වීම සඳහා එහි තැන්පත් කර තිබේ. ලබන බදාදා පස්වරු 4 ට දේහය පිළිබඳ අවසන් කටයුතු නිදහස් චතුරස්‍රයේදී සිදුකෙරෙන්නේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ ය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් පිළිබඳව සටහනක්... 1919 වසරේ අප්‍රේල් 5 වනදා දෙහිවලදී උපන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ආදි සිසුවෙකි. වයස අවුරුදු 17 දී ඩේලි නිව්ස් පුවත්ප‍තින් පත්‍ර‍කලාවේදියෙකු ලෙස වෘත්තිය දිවිය ආරම්භ කළ ඔහු, පසුව කෙටි චිත්‍ර‍පට නිර්මාණකරණයට පිවිසියේ තමා සතු ද්විභාෂා දැනුම ද උපයෝගී කරගනිමිනි. බ්‍රිතාන්‍යයට ගොස් සිනමාවේ සියලු හැඩතල උගත් ඔහු, 1956 වසරේ දෙසැම්බර් 29 වන දා රේඛාව සිනමා පටය රටට දායාද කරමින් මහා සිනමා විප්ලවයක ආරම්භය සනිටුහන් කළේ ය. එතෙක් පැවති හින්දි අනුකරණවාදී සිනමා රැල්ලට ප්‍ර‍බල අභියෝගයක් එල්ල කළ ඔහු , එදා සිනමාවට හෙළ ලකුණු මුසු කිරීමට සමත් විය. චිත්‍රාගාර තුළ අමුද්‍රව්‍ය යොදා ගනිමින් මැවුණු කෘත්‍රිම රූ රටා වෙනුවට, සිනමා කැමරාව චිත්‍රාගාරයෙන් පිටතට ගෙන ගොස් ස්වභාවිකත්වය සිනමාවට ආරෝපණය කළ පළමු ලාංකීය සිනමාකරුවා ලෙස ඔහු එදා ඉතිහාස ගතවිය. සිනමාව මායාවක් කළ කෘත්‍රිම දෙබස් වෙනුවට සාමාන්‍ය ජන ව්‍යවහාරය සිනමාවට ආරෝපණය කළ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා රේඛාවෙන් හෙළ සිනමා ගීත කලාවක ආරම්භය ද සනිටුහන් කළේ ය. ඔහු, රේඛාව ප්‍රංශයේ කාන්ස් සිනමා උළෙලට රැගෙන යන්නේ තම පළමු සිනමා නිර්මාණය මෙන්ම ශ්‍රී ලංකාව යන නාමය, ලෝක සිනමා සිතියමේ ඉහළින්ම සනිටුහන් කරමිනි. මහා ගත්කරු මාර්ටින් වික්‍ර‍සිංහයන්ගේ ගම්පෙරළිය, කළියුගය සහ යුගාන්තය යන තුන් ඈදුතු නවකතා, තුන්ඈදුතු සිනමා නිර්මාණ බවට පත් කළ ලෙස්ටර්, නවකතාව සිනමාවට නැගීමේ පුරෝගාමියෙකු බවට ද පත් විය. සංදේශය, රන්සළු, දෙලොවක් අතර, ගොළු හදවත, නිධානය, වෑකන්ද වලව්ව වැනි අනගි නිර්මාණ ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා චාරිකාවේ මං සලකුණු කිහිපයකි. 1963 වසරේදී ගම්පෙරළිය චිත්‍රපටය නිපදවීමත් සමග ආසියාවේ හොඳ ම සිනමාකරුවන් දස දෙනා අතරට ඇතුළත් වු ඔහු, 1972 නිර්මාණය කළ නිධානය, ආසියාවේ හොඳ ම චිත්‍රපට දහයට ඇතුළත් විය. ආසියාවට ද සිනමාවක් පවතින බව බටහිර ලෝකයට පෙන්වූ සිනමා නිර්මාණ ලෙස ලෝකයාගේ සම්භාවනාවට පත්ව ඇත්තේ ඉන්දියාවේ සත්‍යජිත් රායිගේ පාතර් පංචාලී, ජපානයේ අකිර කුරසෝවාගේ රෂෝමන් සහ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව යන සිනමාපට ත්‍රිත්වයයි. රේඛාවෙන් ඇරඹි සිය සිනමා චාරිකාව තුළ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා හෙළ සිනමාවට දායාද කර ඇති සිනමා පට ගණන 20 කි. ඔහුගේ අවසන් නිර්මාණය වන්නේ 2006 වසරේදී තිරගත වූ අම්මාවරුනේ සිනමාපටයයි. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අවසන් ගමන් ගියේ ඔහුගේ කතා සංකල්පයකට අනුව ප්‍ර‍වීණ චිත්‍ර‍පට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මිය අධ්‍යක්ෂණය කළ වෛෂ්ණාවි සිනමා පටය දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වෙමින් පවතින අවස්ථාවකදීයි. ධර්මසේන පතිරාජ, ධර්මසිරි බණ්ඩාරනායක, ප්‍ර‍සන්න විතානගේ, අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර ඇතුළු පසුව බිහිවූ මෙරට සම්මානනීය සිනමාකරුවන්, සිය සිනමා භාවිතය තුළ නිරූපණය කළේ ලෙස්ටර්ගේ සිනමා ආඛ්‍යානයයි. සිය ජීවිතය සේම, හරි හම්බ කරගත් සියලු වස්තූන් සිනමාව වෙනුවෙන් කැප කළ මේ මහා සිනමාකරුවා අවසානයේ කුලී නිවසකදී සිය ජීවිත ගමන අවසන් කළේ, සිනමාවේ පියාණන් යන විරුදාවලියට සැබෑම ජීවයක් මුසු කරමිනි. හෙළ සිනමාවේ පියාණන් වන, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් යන නාමය, ලෝක සිනමා සිතියමේ සදාතනික රන් රේඛාවක් වනු ඇති. https://www.youtube.com/watch?v=E9VHFlu5qUA