ඇම්බර් රඩ් සිය ධූරයෙන් ඉවත් වෙයි

බ්‍රිතාන්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඇම්බර් රඩ් ඉල්ලා අස් වෙයි

by Hashini De Mel 30-04-2018 | 8:12 AM

COLOMBO (News 1st) - බ්‍රිතාන්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඇම්බර් රඩ් සිය ධූරයෙන් ඉල්ලා අස්විය.

ඒ, දීර්ඝ කාලයක් පුරා බ්‍රිතාන්‍යයේ දිවිගෙවූ කැරිබියන් දූපත් වාසී පුද්ගලයින් පිරිසක් අනවසර සංක්‍රමණිකයින් ලෙසට හංවඩු ගැසීමෙන් උද්ගත වූ අර්බුධය හේතුවෙනි. සිය ඉල්ලා අස්වීමේ ලිපියේදී ඇය පැහැදිලි කළේ, එම සංක්‍රමණිකයින් පිටුවහල් කිරීමට රජයට පැවති සැලසුම් හෙළි කිරීමෙන් වැලකී පාර්ලිමේන්තු කමිටුවක් නොමග යැවීමට තමන් කටයුතු කළ බවයි. වින්ඩ්රෂ් පරපුර ලෙස හැඳින්වෙන එම සංක්‍රමණික පිරිස 1948 - 1971 කාලය තුළ බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූයේ එරට ශ්‍රමික හිඟය පියවීමට ආරාධනා ලැබීමෙන් පසුවය. දෙවන ලෝක යුධ සමයෙන් පසුව බ්‍රිතාන්‍ය ආර්ථිකය ගොඩනැංවීමට ද ඔවුන් දායක විණි. බ්‍රිතාන්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරියගේ මෙම ඉල්ලා අස්වීම, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේගේ පාලනයට දැඩි පහරක් වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.