බුදු දහම මිනිසාගේ බුද්ධියට සෘජුව ආමන්ත්‍රණය කළා

බුදු දහම මිනිසාගේ බුද්ධියට සෘජුව ආමන්ත්‍රණය කළා - ජනපති

by Chathuranga Rajapaksha 29-04-2018 | 7:29 AM
COLOMBO (News 1st) -  බුදු දහම මිනිසාගේ බුද්ධියට සෘජුව ආමන්ත්‍රණය කළ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා සඳහන් කළේ, ගතානුගතික සමාජ ආකල්ප පුපුරවා හල සම්බුද්ධාගමනය අන්ධානුකරණයේ ගැලී සිටි සමාජය විද්‍යාත්මක චින්තනයකට යොමු කළ බව ය. මේ අතර වෛරී සිත් මත මෛත්‍රියේ පැන් ඉසිමින් අපරිමිත කරුණා , මුදිතා ගුණයෙන් මිනිසාගේ බුද්ධිමය ප්‍රඥාව අවදි කරන උතුම් වු වෛශාක්‍යය මංගල්‍යයක් වේවායි ජනාධිපතිතුමා ප්‍රාර්ථනා කර සිටී. බුදුරජාණන්වහන්සේ වදාළ ධර්ම මාර්ගය තුළ අප කොතෙක් දුරට ගමන් කරමින් සිටින්නේද යන්න සිතා බැලීමට මෙම වෙසක් උත්සවයක් කදිම අවස්ථාවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. වෙසක් පොහොය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, ජනතාව තම පැවැත්ම වෙනුවෙන් බුදුදහම ආවරණයක් කර ගැනීමට උත්සාහ නොකර, සමාජයේ යහ පැවැත්ම වෙනුවෙන් බුදුදහම නිසියාකාරයෙන් පිළිපැදීමට අදිටන් කරගත යුතු බව ය.