එජාප ප්‍රතිසංස්කරණ හා ප්‍රතිසංවිධානය තවදුරටත්...

"එජාප ප්‍රතිසංස්කරණ හා ප්‍රතිසංවිධානය තවදුරටත්" - අගමැති

by Hashini De Mel 29-04-2018 | 8:11 PM

COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංස්කරණ හා ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය තවදුරටත් සිදු කරන බව පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ, රුවන් විජේවර්ධන කමිටු වාර්තාවේ සඳහන් යෝජනා ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බවයි. ඒ සඳහා පක්ෂයේ ව්‍යවස්ථාවේ අදාළ සංශෝධන සිදු කිරීමට පියවර ගන්නා බව එහි සඳහන් ය. එක්සත් ජාතික පක්ෂයේ මෑතකදී සිදුකළ වෙනස්කම් හා ඒ සම්බන්ධයෙන් පළවන අදහස් පිළිබඳව අවධානය යොමුකරමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම නිවේදනය නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ නවීන් දිසානායක, අකිල විරාජ් කාරියවසම්, හරීන් ප්‍රනාන්දු, හර්ෂ ද සිල්වා, හා අජිත් පී පෙරේරා යන මහත්වරුන් පක්ෂයේ බර කරට ගන්නට නායකත්වයදීම සඳහා අලුතින් එක්වී සිටින බවයි. නව නායක පෙළක් බිහිකිරීමේ වැදගත් පියවරක් තබමින් ඔවුන් නියෝජ්‍ය නායක හා උපනායකයා සමග එක් ව නව ජවයකින් හා ප්‍රවේශයකින් ජයග්‍රාහි ගමනකට පදනම සකසනු ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත. ඔහුගේ නිවේදනයේ දැක්වූයේ, නියෝජ්‍ය නායකයා වෙත නව වගකීම් රැසක් පැවරීමටත්, පක්ෂයේ සංවිධාන ශක්තිමත් කිරීමේ කාර්ය වඩාත් සාර්ථකව ඉටු කිරීමටත් මෙමගින් පසුබිම සැකසෙනු ඇති බවයි. පක්ෂයේ කටයුතු තවදුරටත් විධිමත්ව හා ක්‍රමවත්ව කරනු පිණිස විෂය භාර ලේකම් හා සහකාර ලේකම් තනතුරු කිහිපයක් ද ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බව එහි සඳහන් වේ. රනිල් වික්‍රමසිංහ මහතා පැවසූවේ, එහිදී තව ත් තරුණ මන්ත්‍රීවරුන් ගණනාවකට පක්ෂය වෙනුවෙන් සිය මෙහෙවර ඉටු කිරීමේ මාර්ග විවර කිරීමට අපේක්ෂා කරන බවයි. ඒ සමග සෑම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුටම නිශ්චිත වගකීමි පැවරීමට ද නියමිත බව ඔහු නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.