ට්‍රම්ප්ගෙන් දකුණු කොරියානු ජනපතිට දුරකතන ඇමතුමක්

අමෙරිකානු ජනපතිගෙන් දකුණු කොරියානු ජනපතිට විශේෂ දුරකතන ඇමතුමක්

by Chathuranga Rajapaksha 29-04-2018 | 8:50 AM
උතුරු සහ දකුණු කොරියානු නායකයින්ගේ ඓතිහාසික සාකච්ඡාවෙන් පසු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන්ට විශේෂ දුරකතන ඇමතුමක් ලබා දී තිබේ. එහිදී අමරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ සියලු දේ ඉතා හොඳින් සිදුවන බව ය. උතුරු කොරියානු නායක කිම් ජොන් අන් හමුවීම සඳහා සුදුසු ස්ථානයක් සහ වේලාවක් තීරණය කරමින් සිටින බව ද අමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණි. ඔහු වැඩි දුරට ත් පවසා ඇත්තේ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ සමග ද තමා වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ය. මේ අතර අමෙරිකානු ආරක්ෂක ලේකම් ජිම් මැටී ද, දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍ය සොන්ග් යන්ග් මූන්ට දුරකතන ඇමතුමක් ලබාදී තිබේ. ඒ, උතුරු කොරියාව සමග පැවති සාකච්ඡාවට සුබ පැතුම් පිරිනමමිනි. මේ අතර ඊයේ වොෂින්ටනයේ පැවති රැළියකදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ සති තුනක් හෝ හතරක් ඇතුළත තමා උතුරු කොරියානු නායකයා හමුවන බව ය. එම සාකච්ඡාව ලෝක දේශපාලනයේ සංධිස්ථානයක් වනු ඇතැයි ද ඔහු පැවසීය.