by Staff writer 28-04-2018 | 9:58 PM
COLOMBO (News 1st) - වෙසක් පුර පසළොස්වක පොහොය උදා වීමට ඉතිරිව තිබෙන්නේ තවත් පැය කිහිපයක් පමණි.
ඒ උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය නිමිති කර ගනිමින් සංවිධාන වන සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයේද සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබේ.
ඒ අතර වෙසක් කලාපයට වැඩම කරවන ධාතූන් වහන්සේලා රැගත් රිය පෙරහැර අද කොළඹට ළඟා විය.
සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයේ තැන්පත් කෙරෙන සඳගිරි සෑ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම වන්නේ තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ සිට ය.
පැල්මඩුල්ල ගනේගම රන්කෙත් රජමහා විහාරස්ථානයෙන් අද උදෑසන ආරම්භ වූ ධාතූන් වහන්සේ රැගත් රිය පෙරහැර පස්වරුවේ හෝමාගම පුරාණ රජමහා විහාරයට ළඟා විය.
ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරස්ථානයේ සිට වැඩම කරවන සර්වඥ සහ අනුබුදු මහරහත් ධාතූන් වහන්සේ රැගත් රිය පෙරහැර ද තෙවන දිනටත් අද උදෑසන ගමන් ඇරඹුවේ ය.
ඒ, දිවුලපිටිය කුඩගම්මන ශ්‍රී සුදර්ශන චේතියාරාම විහාරස්ථානයේ සිට ය.
ධාතූන් වහන්සේ රැගත් රිය පෙරහැර කඩවත නගරය පසු කරන විට ගුවනින් මල් ඉසිමින් ධාතූන් වහන්සේට පුද සත්කාර කළේ ය.
කඩවත එක්සත් වෙළෙඳ සංගමය එය සංවිධාන කර තිබිණි.
සර්වඥ සහ අනුබුදු මහරහත් ධාතූන් වහන්සේ රැගත් රිය පෙරහැර අද පස්වරුවේ කැලණිය ඓතිහාසික රජ මහා විහාරස්ථානයට පැමිණියේ ය.
ගාල්ල පරමානන්ද විහාරස්ථානයේ තැන්පත් කර තිබූ සර්වඥ ධාතූන් වහන්සේ අද කොළඹට වැඩම කෙරුණේ, සුරක්ෂා නෞකාවෙනි.
කොළඔ වරාය දක්වා වැඩම කරවූ සර්වඥ ධාතූන් වහන්සේ අනතුරුව රිය පෙරහැරකින් නාවික හමුදා මූලස්ථානය වෙත වැඩම කරවනු ලැබී ය.
අද පස්වරුව දක්වා එහි තැන්පත් කර තිබූ ධාතූන් වහන්සේ අනතුරුව ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරවී ය.
https://www.youtube.com/watch?v=GVL9TWUd30c