කොරියානු නායක හමුව ගැන ලෝක නායකයින්ගෙන් ප්‍රතිචාර

කොරියානු රාජ්‍ය නායක හමුව සම්බන්ධයෙන් ලෝක නායකයින්ගෙන් සුබවාදි ප්‍රතිචාර

by Chathuranga Rajapaksha 28-04-2018 | 1:27 PM
කොරියානු රාජ්‍ය නායක හමුව සම්බන්ධයෙන් ලෝක නායකයින්ගෙන් සුබවාදී ප්‍රතිචාර පල වෙමින් පවතී. එම ඓතිහාසික හමුව පිළිබඳව ප්‍රකාශයක් කරමින් චීනය කියා සිටියේ කොරියානු නායකයන් දෙදෙනාගේ දේශපාලන අධිෂ්ඨානය සහ ධෛර්යය ඓතිහාසික පියවරක් ලෙස හැඳින්විය හැකි බව ය. එම ඓතිහාසික හමුව මගින් කොරියානු අර්ධද්වීපයේ දිගුකාලීන ස්ථාවරභාවය සම්බන්ධයෙන් සංධිස්ථානයක් සනිටුහන් කෙරෙනු ඇතැයි බේජිං පාලනය බලාපොරොත්තු තබන බව චීන විදේශ අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයෙහි දැක්වේ. උතුරු කොරියාවේ මිසයිල තර්ජනයට නිරන්තරයෙන්ම ගොඳුරු වෙමින් පැවති රටක් වන ජපානයේ අගමැති ෂින්සෝ අබේ ප්‍රකාශයක් කරමින්, කොරියානු රාජ්‍ය නායක හමුව විග්‍රහ කර තිබුණේ එය "ශුභවාදී පියවරක්" ලෙස ය. දෙන ලද ප්‍රතිඥා ඉටු කිරීමෙහි ලා 'පියෝන්ග්යැන්' පාලනය ස්ථිරසාර ක්‍රියාමාර්ග ගනු ඇතැයි දැඩිව බලාපොරොත්තු තබන බවද ජපාන අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. මේ අතර 'ට්විටර්' පණිවුඩයක් නිකුත් කරන ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ සිදු වෙමින් පවතින්නේ යහපත් දෙයක් බව ත් එහෙත් සියල්ල කාලය විසින් තීන්දු කරනු ඇති බව ය. කොරියානු නායක හමුව යතාර්ථයක් බවට පත් කර ගැනීම සදහා චීන ජනාධිපති ෂී ජින් පින් ලබා දුන් සහයෝගය ද අමතක කළ නොහැකි බවද ජනපති ට්‍රම්ප් සදහන් කළේය. රුසියාව කොරියානු රාජ්‍ය නායක හමුව හඳුන්වා දෙන ලැබුවේ "ඉතා ශුභවාදී වර්ධනයක්" ලෙස ය. නේටෝ සංවිධානයේ මහලේකම් ජෙන්ස් ස්ටොල්ටෙන්බර්ග් ද කොරියානු නායක සමුළුවේ තීරණ සම්බන්ධයෙන් සතුට පල කළේය. එහෙත් තවත් ගතයුතු බොහෝ පියවර ඇති බවද නේටෝ මහලේකම්වරයා කියා සිටියේය. කෙසේ වෙතත් ප්‍රකාශිත අරමුණු සම්බන්ධයෙන් කැපවීම සඳහා 'පියෝන්ග්යැන්' පාලනය තුළ පවතින උනන්දුව පිළිබදව බොහෝ විශ්ලේෂකයින් සැක සහිත තත්වයක පසුවන බව විදෙස් වාර්තා සඳහන් කළේය.