එළවළු ගොවි ගැටළුව ගැන ජනපති නියමයෙන් සාකච්ඡාවක්

එළවළු ගොවීන්ගේ ගැටළු විසදීමට ජනපති නියමයෙන් විශේෂ සාකච්ඡාවක්

by Chathuranga Rajapaksha 28-04-2018 | 12:10 PM
COLOMBO (News 1st) - එළවළු මිල පහළ යාමෙන් ගැටළුවලට මුහුණ දී ඇති ගොවීන්ට විසඳුම් ලබා දීමේ විශේෂ සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදි පැවැත්විය. ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මතයි. අමාත්‍ය සරත් අමුණුගම හා ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ සහභාගිත්වයෙන් පැවැති සාකච්ඡාවේදි තීරණය වී ඇත්තේ ගැටළුවලට සතියක් තුළ විසදුම් ලබාදිමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිමටයි. රජයේ මැදිහත්වීමෙන් එළවළු නිෂ්පාදන වෙළඳපොළට සැපයීම සම්බන්ධයෙන් ද මෙහිදි අවධානය යොමු වී තිබේ. එළවළු අස්වැන්න බහුල ප්‍රදේශවලින් නාගරික ප්‍රදේශ වෙත සිවිල් ආරක්ෂක බලකාය හරහා එළවළු සැපයීම සම්බන්ධයෙන්ද මෙහිදි සාකච්ඡාවට ලක්ව තිබේ. මීට අමතරව බන්ධනාගාර, හමුදා මූලස්ථාන හා රෝහල් වැනි මහා පරිමාණයෙන් එළවළු සපයන ආයතන වෙත දිස්ත්‍රික් මට්ටමින් එළවළු තොග සැපයීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ද සාකච්ඡාවේදි අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේය. මෙම සකාච්ඡාවේදි හෙළි වී ඇත්තේ එළවළු මිල අඩු වුවද නාගරික ප්‍රදේශවල ඊට සාපෙක්ෂව එළවළු මිල ගණන් අඩු වී නොමැති බව ය. කෙසේ වෙතත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් තව දුරට ත් පවතින්නේ ඉතාමත් පහළ අගයකයි.