පක්ෂ නායකත්වය ගැන එ.ජා.ප. නියෝජිතයින් කියන කතා

පක්ෂ නායකත්වය ගැන එ.ජා.ප. නියෝජිතයින් කියන කතා

by Staff writer 26-04-2018 | 9:33 PM
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානය අද දඹුල්ලේදී පක්ෂයේ ප්‍රතිසංවිධානය පිළිබඳව අදහස් පළ කළේ ය. එහිදී අදහස් දැක්වූ එම සංවිධානයේ සභාපති දුමින්ද බණ්ඩාරනායක මහතා පැවසුවේ, ඊයේ පත් කළ නව නිලධාරී මණ්ඩලයට තම සංවිධානය දැඩි විරෝධය පළ කරන බව ය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, පාක්ෂිකයින් ඉල්ලා සිටියේ අනෙක් තනතුරුවල වෙනසක් නොව එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසක් බව ය. මේ අතර එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ලේකම් නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ද අද මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. රනිල් වික්‍රමසිංහ මහතාට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ පාර්ලිමේන්තුව තුළ ඕන ගේම් එකක් ගසා ජයග්‍රහණය කළ හැකි නමුත් ඡන්දයක් ජයග්‍රහණය කළ නොහැකි බව ඔහු එහිදී අවධාරණය කළේ ය. මේ අතර අද සටන අඩපැය වැඩසටහනට සහභාගී වූ එක්සත් ජාතික පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ශ්‍රීනාත් පෙරේරා මහතා පැවසුවේ, බැඳුම්කර සිද්ධියට චෝදනා ලැබූ අයත් සමග පක්ෂය ඉදිරියට ගෙන යා නොහැකි බව ය. වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රීනාත් පෙරේරා මහතා පැවසුවේ, බැඳුම්කරයට සම්බන්ධ අයව පක්ෂ නායකත්වයට යෝජනා කිරීම මගින් පිළිබිඹු වන්නේ, පක්ෂය හොරුන් පිළිගන්නවා යන්න ය.