ඇමති මලික්ට වෘත්තිකයින්ගෙන් අභියෝගයක්

නිදහස් වෙළෙඳ ගිවිසුම් අත්සන් කළ පදනම ජනතාවට කියන්නැයි ඇමති මලික්ට වෘත්තිකයින්ගෙන් අභියෝගයක්

by Staff writer 26-04-2018 | 9:10 PM
COLOMBO (News 1st) - වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. ඔවුන් මෙහිදී ප්‍රශ්න 10ක් අමාත්‍ය මලින් සමරවික්‍රම මහතාට යොමු කළ අතර ඒ සඳහා පිළිතුරු දිය නොහැකි නම් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ද ඔවුහු ඉල්ලා සිටියහ. ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ මෙම ප්‍රශ්නාවලිය අමාත්‍ය මලින් සමරවික්‍රම මහතා වෙත යොමු කර තිබේ. ඔවුන් විමසන එක් පැනයක් වන්නේ, සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම මගින් සිංගප්පූරුව විසින් ලංකාව ඇතුළු ලොව සියලු ම රටවලට දැනටමත් බදු සහන ලබා දී ඇති භාණ්ඩ ලැයිස්තුවක් ඇතුළත් කර ලංකාවේ අපනයනකරුවන්, කැබිනට් මණ්ඩලය සහ ජනාධිපතිවරයා රැවටීමට ලක් කළේ ඇයි ද යන්න යි. කුඩා සිංගප්පූරු භූමියෙනුත් 10%ක් පමණ වන රජයට අයත් නොවන ඉඩම් පමණක් සිංගප්පූරුව පාර්ශවයෙන් ගිවිසුමට ඇතුළත් කරන විට ශ්‍රී ලංකාව සමස්ත භූමිය හා සාගර කලාපය ගිවිසුමේ වපසරිය ලෙස සැලකුවේ ඇයි ද යන්න තවත් පැනයකි. ලොව පිළිගත් නිර්දේශයන් නෙසලකා හරිමින් සිංගප්පූරු ගිවිසුම ඇතුළු දැනට සාකච්ඡා පවත්වන කිසිදු වෙළෙඳ ගිවිසුමක් පිළිබඳව කිසිදු ශක්‍යතා අධ්‍යයනයකින් තොරව අත්සන් කළේ ඇයි ද යන්න ද වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ ප්‍රශ්න කරයි. මේ සඳහා කිසිදු වෘත්තීය සංවිධානයක අදහස් ලබා ගැනීමට කටයුතු නොකරන්නේ ඇයි ද යන්න ද ඔවුහු ප්‍රශ්න කරති. https://www.youtube.com/watch?v=zYn4WTbmBxg