නව තනතුරුවලට එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය

දේශපාලන මණ්ඩලය නම් කළ තනතුරුවලට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය

by Staff writer 26-04-2018 | 7:33 PM
COLOMBO (News 1st) - පූර්ණ බලැති දේශපාලන මණ්ඩලය ඊයේ රැස්වී නම් කළ නව තනතුරු එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද අනුමත කළේ ය. එහෙත් එම තීරණ විවේචනය කරමින් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වන හිටපු කථානායක ජෝසප් මයිකල් පෙරේරා මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා අස් විය. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්විය. එහිදී නායකත්වය හැර නව තනතුරු කිහිපයකට අදාළ පත්වීම් අනුමත කර ගැනීම සිදුවිණි. ඇතැම් තීරණ පිළිබඳව රැස්වීම හමුවේ විවේචනාත්මකව අදහස් දැක්වූ හිටපු කථානායක ජෝසප් මයිකල් පෙරේරා මහතා සිරිකොත පරිශ්‍රයෙන් පිටව ගියේ එය අවසන් වීමට පෙර ය. රැස්වීම අවසන් වී පිටව ගිය එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙක් ම මාධ්‍යයට අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළහ. තලතා අතුකෝරළ සහ ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්ම මහත්මීන් ද ඒ අතර විය.